අවසන් 16ය වටයේ තීරණාත්මක තරගයකින් ආර්ජන්ටිනාව හමුවේ ගෝල 3 ට 2 ක් ලෙස පරාජය වී මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසිවූ ඊජිප්තු කණ්ඩායම, එම තරගයේ විනිසුරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට හෙවත් ‘ෆිෆා‘ ආයතනයට නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා.

ඊජිප්තු පාපන්දු සංගමය පවසන්නේ, ප්‍රංශ ජාතික ප්‍රධාන විනිසුරු ෆ්‍රැන්සුවා ලෙටෙස්ලියර් ඇතුළු විනිසුරු මඩුල්ල තරගය පුරාම ආර්ජන්ටිනාවට වාසි සහගත ලෙස ”දෙබිඩි පිළිවෙතක්” අනුගමනය කළ බවයි.

තරගයේදී ඊජිප්තුව ලබාගත් පැහැදිලි ගෝලයක් ‘වීඩියෝ සහය විනිසුරු‘ තාක්ෂණය ඔස්සේ අවලංගු කිරීමටත්, අවසන් මොහොතේ මොහොමඩ් සලාට එරෙහිව සිදුවූ වැරැද්දක් නොසලකා හරිමින් ආර්ජන්ටිනාවට ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට ඉඩ දීමත් පිළිබඳව ඊජිප්තුව දැඩි අප්‍රසාදය පළ කරනවා.

මේ හේතුවෙන් අදාළ ප්‍රධාන විනිසුරුවරයා ඇතුළු මුළු විනිසුරු කණ්ඩායමම වහාම ක්‍රියාත්මක වන පරිදි ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරන ලෙසයි ඊජිප්තුව ෆිෆා ආයතනයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ආජන්ටිනාව සමග තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඊජිප්තු පුහුණුකරු හොසාම් හසන් චෝදනා කළේ, වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව සහ ඔවුන්ගේ සුපිරි තරුව වන මෙසීව තරගාවලියේ රඳවා තබා ගැනීම සඳහා සංවිධායකයින්ට සහ විනිසුරුවන්ට අවශ්‍යතාවක් තිබෙන්නට ඇති බවයි.

ඊජිප්තු ක්‍රීඩක මුස්තාෆා සිකෝ ද පවසා ඇත්තේ මෙම තරගාවලියේ ප්‍රතිඵල කලින්ම තීරණය කර තිබූ බවක් පෙනෙන්නට ඇති බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩා විචාරකයින් පවසන්නේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් ෆිෆා ආයතනය සාමාන්‍යයෙන් මෙවැනි පැමිණිලි සලකා බලා තීරණ වෙනස් නොකරන බැවින්, ඊජිප්තුවේ මෙම ඉල්ලීමට සාධාරණයක් ඉටුවීමේ ඉඩකඩ ඉතා අඩු බවයි.

තරගයෙන් ජයගත් ආර්ජන්ටිනාව එළඹෙන සෙනසුරාදා අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.