යුක්‍රේනය විසින් එල්ල කරන ලද දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් මොස්කව් නගරයේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට සහ ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබෙනවා.

මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් පැමිණි ඩ්‍රෝන යානා 450 ක් පමණ විනාශ කිරීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසන්නේ.

කෙසේවෙතත්, ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර, රුසියානු යුධ යාන්ත්‍රණයට ශක්තිය සපයන ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් ප්‍රධාන තෙල් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහ සැපයුම් පරිශ්‍රයක් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මගින් සාර්ථකව විනාශ කළ බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තහවුරු කර තිබෙනවා.

එමෙන්ම, රුසියාව විසින් කියෙව් සහ සුමි කලාප වෙත එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ.

දෙපාර්ශවයම මෑත කාලීනව තම බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර සීඝ්‍රයෙන් ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.