ප්රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය සත්කාරක මෙක්සිකෝ රාජ්‍යයේ ක්‍රීඩාංගණයකදී, ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ මෙක්සිකෝව ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සිය සුදුසුකම තහවුරු කරගත් අතර එහිදී ඔවුන්ට නෝර්වේ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු වනු ඇති.
තරගයේ මුල් භාගයේදී මෙක්සිකෝ කණ්ඩායම පන්දුවේ වැඩි පාලනයක් තබා ගනිමින් එංගලන්තයට දැඩි පීඩනයක් එල්ල කළ නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේදී හා ඉන් තත්පර 98 කට පසුව, එනම් 38 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තා කරමින් එංගලන්තය 2-0 ක් ලෙස ඉදිරියට පැමිණියා.
එහෙත්, තරගයේ 42 වැනි මිනිත්තුවේදී මෙක්සිකෝවේ ජූලියන් ක්විනෝනස් පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු තත්ත්වය 2-1 ක් බවට පත් කළා.
දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයකින්, එනම් 54 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ ජැරල් ක්වන්සා සිදුකල වැරැද්දක් හේතුවෙන් VAR තාක්ෂණයේ සහය ඇතිව ඔහුට රතු කාඩ්පතක් හිමි වුණා.
මේ හේතුවෙන් එංගලන්තයට තරගයේ ඉතිරි කාලය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමටයි සිදු වුණේ.
කෙසේ වෙතත්, 60 වැනි මිනිත්තුවේදී එංගලන්තයට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථකව යොමුකල එංගලන්ත නායක හැරී කේන් එංගලන්ත ලකුණු පුවරුව 3-1 ක් ලෙස ඉහළ ගියා.
මෙය ඔහු මෙම තරගාවලියේ වාර්තා කල 6 වැනි ගෝලයයි.
එහෙත්, පසුබට නොවූ මෙක්සිකෝව 69 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් හිමිකර ගත් අතර, එය සාර්ථක කරගත් රාවුල් ජිමිනෙස් ලකුණු තත්ත්වය 3-2 ක් දක්වා ගෙන එමින් තරගයේ උණුසුම වැඩි කලා.
තරගයේ අවසාන මිනිත්තු කිහිපයේදී සහ අතිරේකව ලබාදුන් මිනිත්තු 11 පුරාවටම මෙක්සිකෝ කණ්ඩායම සමස්ත ශක්තියම යොදවමින් එංගලන්ත ආරක්ෂක වළල්ලට දරුණු ප්‍රහාර එල්ල කලද, එංගලන්ත පසුපෙළ ක්‍රීඩකයින් සහ ගෝල රකින ජෝර්ඩන් පික්ෆර්ඩ් එය සාර්ථකව වළක්වාලමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කළා.
තරගයේ අවසන් ලකුණු පුවරුව....
එංගලන්තය: 3 (ජූඩ් බෙලින්හැම් 36', 38', හැරී කේන් 60' (P))
මෙක්සිකෝව: 2 (ජූලියන් ක්විනෝනස් 42', රාවුල් ජිමිනෙස් 69' (P))




