යේමනයේ ඒඩන් නගරයේ පිහිටි 'අල්-මාෂීක්' ජනාධිපති මන්දිරය ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්රහාරයකින් යේමන අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම අනූනවයෙන් දිවි බේරාගෙන තිබෙනවා.
යේමන සෞඛ්ය අමාත්යාංශය සඳහන් කරන්නේ, මෙම ප්රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ අතර, පසුගිය ඔක්තෝබර් 07 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ සෞදි අරාබියේ 'කිං ඛාලිද්' ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත හූති සංවිධානය එල්ල කළ ප්රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 333 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි ප්රමුඛ සංධානය තහවුරු කරනවා.
එමෙන්ම සෞදි අරාබියේ 'මදීනා' පූජනීය ප්රදේශය ආසන්නයට පැමිණි කෲස් මිසයිලයක් විනාශ කිරීමට සෞදි ගුවන් ආරක්ෂක බලකාය සමත් වූ බව ප්රකාශ කළද, එම මිසයිල ප්රහාරය තමන් එල්ල කළ එකක් නොවන බවයි හූති සංවිධානය ප්රකාශ කරන්නේ.
මේ අතර හෝමුස් සමුද්රසන්ධියට නැගෙනහිරින් පිහිටි ඕමාන මුහුදු සීමාවේ තහනම් කලාපයක් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කළ තෙල් ප්රවාහන නෞකාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඉරාන නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව ස්වයංක්රීය සංඥා පද්ධති (Tracking systems) අක්රිය කර මෙම සීමාවට ඇතුළු වී ඇති බවයි.



