යුද්ධයන් සඳහා ආයුධ ප්‍රවාහනය කිරීමට වරායවල් භාවිත කිරීමට එරෙහිව සහ පලස්තීන ජනතාවට සහය පළ කරමින් ලොව පුරා වරාය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් සේවා රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ලොව පුරා නැව් ගමනාගමන සහ තොටුපළ සේවාවන්ට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සිකුරාදා රටවල් 22 ක වරායවල් 113 ක් ආවරණය වන පරිදි වරාය සේවකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

යුධ අවි ප්‍රවාහනයට එරෙහි වීමට අමතරව, සිය වැටුප් සහ සේවා කොන්දේසි ඉහළ නැංවීම මෙන්ම යුධ ගැටුම් පවතින කලාප හරහා ගමන් ගන්නා නෞකාවල වෛද්‍යවරුන් රඳවා තැබීමට අවසර දෙන ලෙස ද වර්ජකයින් මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ග්‍රීසියේ පිරේඅස් වරායේදී අදහස් දක්වමින් ග්‍රීක වෙළඳ නාවික ඉංජිනේරු සංගමයේ ප්‍රධානී අපොස්ටොලෝස් කිප්රායෝස් සඳහන් කළේ, තමන් කිසිසේත්ම අන්‍යන්ගේ යුද්ධ වෙනුවෙන් සේවය කිරීමට සූදානම් නොමැති බවයි.