ලෝකයේ බාල-මහලු සැමගේ අවධානය දිනාගන්නා, ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ මස 11 වනදා සිට අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය ඉතිහාසයේ ප්‍රථම වතාවට කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් දින 39ක් පුරා පැවැත්වෙනවා.

කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන්, අලුත්ම තරග වට එකතු කරමින් පැවැත්වෙන මෙවර තරගාවලියේ සමාරම්භක තරගය ජුනි 11 වනදා මෙක්සිකෝ නුවරදීත්, අවසාන මහා තරගය ජූලි 19 වනදා ඇමරිකාවේ නිව් ජර්සි හිදීත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ කාගෙත් කතාබහට ලක්වෙන සුවිශේෂීම මාතෘකාව වී තිබෙන්නේ තරග සඳහා භාවිත කරන නිල පාපන්දු බෝලයයි.

බැලූ බැල්මට සාමාන්‍ය පාපන්දුවක් සේ පෙනුනත්, මෙවර තරගාවලියට හඳුන්වා දී තිබෙන "ට්‍රියොන්ඩා" පාපන්දුව සැබවින්ම තාක්ෂණික විප්ලවයක්.

ස්පාඤ්ඤ භාෂාවෙන් "රළ තුනක්" යන අදහස දෙන "ට්‍රියොන්ඩා" යන නම මෙයට තබා තිබෙන්නේ සත්කාරක රටවල් තුන සංකේතවත් කිරීමටයි.

මෙය කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් බලගැන්වූ "ස්මාර්ට් බෝලයක්".

මේ පන්දුව ඇතුළත සුවිශේෂී සංවේදකයක් සවි කර තිබෙනවා.

ක්‍රීඩාංගනය වටා සවි කර ඇති වෙනත් සංවේදක පද්ධති සමඟ සන්නිවේදනය කරමින්, මෙම බෝලයට තත්පරයකට 500 වතාවක් වැනි සුපිරි වේගයකින් දත්ත රැස් කිරීමේ හැකියාව පවතිනවා.

මේ නිසා තරග තීරකවරුන්ට "ඕෆ්-සයිඩ්" වැනි ඉතා සියුම් තීරණ වඩාත් නිවැරදිව සහ ක්ෂණිකව ගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම, තරගය නරඹන ප්‍රේක්ෂකයින්ටත් බෝලයට වැඩිම කැරකැවීමක් හෙවත් 'ස්පින්' එකක් දුන්නේ කවුද, වැඩිම වේගයකින් පන්දුවට පහර දුන්නේ කවුද වැනි රසවත් දත්ත රැසක් එසැණින් දැනගන්නට පුළුවන්.

තාක්ෂණය සේම මෙහි බාහිර පෙනුමත් ඉතාමත් අලංකාරයි.

කැනඩාවේ රතු මේපල් පත්‍රය, මෙක්සිකෝවේ කොළ පැහැති රාජාලියා සහ ඇමරිකානු ධජයේ තරු සහ නිල් පැහැය මෙයට ඇතුළත් කර තිබෙනවා.

රන්වන් පැහැති රේඛාවන්ගෙන් හැඩවී ඇති මෙම පන්දුව නිර්මාණය කර ඇත්තේ ලෝක කුසලාන රන් කුසලානයට උපහාරයක් ලෙසයි.