ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවන් පසුබිමක් යටත්  බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 දක්වා ද, ඩබ්ලිව්.ටී.අයි (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

යලිත් උත්සන්න වී ඇති යුද ගැටුම් හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය' (Strait of Hormuz) ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ, ජෝර්දානයේ පිහිටි 'ප්‍රින්ස් හසාන්' ගුවන් හමුදා කඳවුරට සහ ඇමෙරිකානු මැරීන් බලකා කඳවුරකට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන උසස් නායක මොජ්තබා ඛමේනි සඳහන් කර සිටියේ ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන බවයි.

 

 

මේ අතර, තමන් වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බව කුවේටය සහ බහරේනය ප්‍රකාශ කරනවා. ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් ඉරානයේ ප්‍රධාන හමුදාමය ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් සිරියික් (Sirik) ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැති නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.