දකුණු දිග ස්පාඤ්ඤයේ හටගෙන ඇති අතිශය විනාශකාරී ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

ජීවිතක්ෂයට පත් වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව්දෙනෙකු ද සිටින බවටයි ප්‍රාදේශීය බලධාරීන් සැකපළ කරන්නේ.

ස්පාඤ්ඤයේ අල්මේරියා ප්‍රාන්තයේ ලොස් ගයලර්ඩොස් ප්‍රදේශය පුරා මෙම ලැව්ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

මෙවැනි දරුණු ගණයේ විනාශකාරී ලැව්ගින්නකට මීට පෙර මුහුණ දී නොමැති බවයි සහන සේවා නිලධාරීන් පවසන්නේ.

ගින්නෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ලොස් ගයලර්ඩොස් නගරයට ආසන්න බෙඩාර් නමැති කුඩා ගම්මානය අසල තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ප්‍රදේශවාසීන් සිය ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිය ගණනක හදිසි මුදාගැනීමේ කණ්ඩායම් ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වනවා.

අසල පිහිටි අන්ටාස් නගරයේ නගරාධිපතිවරයා ස්පාඤ්ඤ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ගින්න මේ වන විට පාලනය කර ඇති නමුත්, සුළඟේ වේගය නැවතත් වැඩි වුවහොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය ජාතිකයින් පිරිසක් අනතුරට ලක්ව ඇති බවට ලැබෙන වාර්තා පිළිබඳව බි්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශය ස්පාඤ්ඤ බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් දැඩි අවධානයෙන් පසුවන බව බි්‍රතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කරනවා.

මේ දිනවල දකුණු දිග යුරෝපය පුරා පවතින සෙල්සියස් අංශක 40 ඉක්මවූ දරුණු උණුසුම් කාලගුණික තත්ත්වය මෙම ලැව්ගිනි හදිසියේ ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.