අමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ටල්සි ගැබාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය ඇමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත්කෙරුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේයි.

ටල්සි ගැබාර්ඩ් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ, සිය සැමියා වන අබ්‍රහම් ගැබාර්ඩ් අස්ථි පිළිකා රෝගයකට ගොදුරු වී සිටින බැවින්, ඔහු සමඟ සිටීම තමන්ගේ ප්‍රමුඛ වගකීම ලෙස සිතා ඒ වෙනුවෙන් වෙලාව ලබා ගැනීමට ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

“ඔහු මේ අසීරු සටනට මුහුණ දෙන අවස්ථාවේදී, මම මෙවැනි දැඩි වගකීම් සහිත තනතුරක දිගටම රැඳී සිටීම නිවැරදි නැහැ” යනුවෙන් ඇය සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ටල්සි ගැබාර්ඩ් අමෙරිකාව වෙනුවෙන් විශාල සේවයක් කළ බවයි.

ඇයගේ ඉවත්වීම ගැන කණගාටු වන බවද ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ටල්සි ගැබාර්ඩ්ගේ ඉල්ලා අස්වීම මේ මස 30 වනදා සිට බලාත්මක වීමට නියමිතයි.

එතෙක් ඇය තවදුරටත් අමෙරිකානු ජාතික බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ඇති.