දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් ග්‍රේටර් සහ ලෙසර් හනිෂ් (Greater and Lesser Hanish) දූපත් සමූහයේ බලය තමන් යටතට ගත් බව යෙමනයේ හූති සංවිධානය පවසනවා.
හූති සංවිධානයේ මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් සවුදි අරාබි ප්රමුඛ සංධානය විසින් ගතවූ පැය 24 ඇතුළත එම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 54 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම සවුදි අරාබියේ ඛමීස් මුෂායිට් හි පිහිටි ප්‍රධාන කිං ඛාලිඩ් (King Khalid) ගුවන් හමුදා කඳවුර වෙත බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එම ප්‍රහාර සාර්ථකව ඉලක්ක වෙත පතිත වූ බවත් හූති සංවිධානය පවසනවා.
කෙසේවෙතත් හූතිවරුන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සවුදි අරාබි බලධාරීන් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
මේ අතර යෙමනයේ හදිසියේ ඇතිවූ මෙම දැඩි යුදමය උණුසුම් තත්ත්වය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පාලනය සම්බන්ධයෙන් ගල්ෆ් කලාපීය රටවල් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව සවුදි අරාබිය විසින් කල් දමා ඇති බවයි ඉරානය පවසන්නේ.
මීට දින කිහිපයකට පෙර හූති සංවිධානය විසින් අත්පත් කරගන්නා ලද මෝකා (Mocha) උපායමාර්ගික වරාය නගරය නැවත අත්පත් කරගැනීමේ අරමුණින්, සවුදි අනුග්‍රහය ලබන යෙමන් රජයේ හමුදාවන් එල්ල කරන ප්‍රබල ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හමුවේ කලාපයේ ප්‍රධාන පෙරමුණු රැසකම යුද සටන් මේ වන විට දැඩි වී තිබෙනවා.




