එක්සත් අරාබි එමීර් රාජ්යයේ සිට ඊශ්රායලය දක්වා පියාසර කරමින් තිබූ flydubai ගුවන් යානය තුළ සිදුවීමට ගිය තැතිගන්වනසුලු සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, එහි සහායක ගුවන් නියමුවා "ත්රස්තවාදියෙකු හෝ උන්මන්තකයෙකු" විය හැකි බව ප්රකාශ කර තිබේ.
එමෙන්ම සහායක නියමුවා එල්ල කළ පිහි ප්රහාරයට මුහුණ දෙමින්, නියමු කුටියේ දොර විවෘත කර සහාය ඉල්ලා සිටීමෙන් යානය බිම හෙළීමට ගිය උත්සාහය ව්යර්ථ කළ ප්රධාන ගුවන් නියමුවා වීරයෙකු ලෙස ද ජනාධිපතිවරයා අගය කළේය.
"මම මේ සිදුවීම ගැන බිබී නෙතන්යාහු (ඊශ්රායල අගමැති) සමඟ දීර්ඝ ලෙස කතා කළා. සහායක නියමුවා ත්රස්තවාදියෙකු හෝ පිස්සෙකු වෙන්න ඇති. ඔහු ප්රධාන නියමුවාට පිහියෙන් ඇන තිබෙනවා," යනුවෙන් ඕවල් කාර්යාලයේදී මාධ්යවේදීන් අමතමින් ට්රම්ප් පැවසීය.
යානය බිම හෙළීමට දැරූ උත්සාහය ව්යර්ථ කළ ස්මිට් මච්ඡාර් නමැති මෙම ප්රධාන ගුවන් නියමුවා ඉන්දියානු ජාතිකයෙකු වන අතර, ජනාධිපති ට්රම්ප්, අගමැති නෙතන්යාහු ඇතුළු බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත.
"ගුවන් නියමුවා ඉතා අමාරු තත්ත්වයක හිටියේ, මම හිතන්නේ ඔහු තවමත් බරපතල තත්ත්වයෙන් පසුවනවා. නමුත් ඔහු ක්රියා කළ ආකාරය පුදුමාකාරයි. ඔහු සැබෑ වීරයෙක්," යනුවෙන් නෙතන්යාහු සමඟ පැවැති සාකච්ඡාව මතක් කරමින් ට්රම්ප් සඳහන් කළේය.
නියමුවා නියමු කුටියේ දොර විවෘත කර පසුපසට පැමිණ උදව් ඉල්ලා කෑගැසීමට තරම් සිහිබුද්ධියෙන් කටයුතු කළ බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම, මෙම සිදුවීමේදී ජලනල කාර්මිකයෙකු ලෙස හඳුනාගත් ඊශ්රායල ජාතික මගියෙකු දැක්වූ විශිෂ්ට මැදිහත්වීම පිළිබඳව ද ජනාධිපති ට්රම්ප් මෙහිදී වැඩිදුරටත් විස්තර කළේය.



