ලෝක දේශපාලනයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින්, ඇමරිකානු හමුදා විසින් ඉරානයට එරෙහිව යළිත් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඇමරිකානු මධ්‍යම බලඇණිය හෙවත් ‘සෙන්ට්කොම්‘ ආයතනය නිවේදනය කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නියෝගයකට අනුව මෙම අතිරේක ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඊයේ රාත්‍රියේදී ද ඊටත් වඩා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවයි.

එමෙන්ම, ඉරානය සමඟ පැවති සටන් නැවැත්වීමේ ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ, එරට දකුණු වෙරළ තීරයේ පිහිටි නගර කිහිපයකින් ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බවයි.

කොනාරක් සහ චබහාර් යන නගරවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ප්‍රහාර හේතුවෙන් චබහාර් නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලි බලය ද ඇණහිට තිබෙනවා.

බන්ඩර් අබ්බාස් නගරයේ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති ද ක්‍රියාත්මක වී ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

ඇමරිකාවේ මෙම තර්ජනවලට පිළිතුරු දෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, තමන් අශිෂ්ට ප්‍රකාශවලට වචනයෙන් පිළිතුරු නොදෙන බවත්, බියකින් තොරව වීරෝධාර ලෙස ක්‍රියාවෙන්ම ඊට පිළිතුරු දෙන බවයි.

ලැබෙන නවතම වාර්තාවලට අනුව, ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඇමරිකානු හමුදා කඳවුරු සහ ස්ථාන 85ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් බහරේනය සහ කුවේටය යන රටවල ද ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සිරස් නාද වී ඇති බවයි වාර්තා වන්නේ.