ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න කරමින්, ඉරාන වරායන් වෙත නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය‘ හරහා ගමන් ගන්නා සියලුම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් සියයට 20 ක බද්දක් ද අය කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙමඟින් ඉරාන නැව්වලට පමණක් බාධා පැමිණෙනු ඇතැයි ද අනෙක් රටවලට සාමකාමීව මෙම මුහුදු මාර්ගය භාවිත කළ හැකි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා ගත් මෙම පියවර සම්බන්ධයෙන් ඉරානය දැනටමත් දැඩි විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ‘ සදාකාලික ආරක්ෂකයා ඉරානය බවයි.
එමෙන්ම ඇමෙරිකාව පනවන සියයට 20 ක බද්ද ඉතා ඉහළ අගයක් බවත්, තමන් මීට වඩා සාධාරණ වනු ඇති බවත් ඔහු උපහාසාත්මකව පවසා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මුහුදු ගමන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවලින් මෙලෙස බලහත්කාරයෙන් මුදල් අය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.
ලෝකයේ සමස්ත තෙල් අවශ්‍යතාවයෙන් සියයට 25 ක්ම ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු කලාපයේ පවතින යුදමය තත්ත්වය නිසා, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ යමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
මේ අතර, ඇමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරානයට එරෙහිව අඛණ්ඩව තුන්වන දිනටත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරානය ද ඊට ප්‍රතිචාර දක්වමින් කුවේට් හි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එරට තෙල් නැව් දෙකකට හානි සිදුව ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් නැවේ සිටි ඉන්දියානු ජාතික සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.




