පකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ඇතුළු පවුලේ ඥාතීන් සහ පකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්රියාකාරීන් පිරිසක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ජාත්යන්තරය සිය කනස්සල්ල පළකරයි.
ලබන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර එල්ල වූ මෙම මර්දනය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇම්නෙස්ටි ජාත්යන්තරයේ දකුණු ආසියානු නියෝජ්ය ප්රාදේශීය අධ්යක්ෂ බාබූ රාම් පාන්ට් පවසන්නේ, දේශපාලන පළිගැනීම් මත පදනම්ව සිදුකෙරෙන මෙවැනි අත්අඩංගුවට ගැනීම් මඟින් ජනතාවගේ මූලික මානව හිමිකම් මෙන්ම අදහස් ප්රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස අභියෝගයට ලක්වන බවයි.
විරෝධතාව ආරම්භ වීමටත් පෙරම එය වළක්වාලීම සඳහා ඉස්ලාමාබාද් අගනුවර මාර්ග බාධක යොදවා ඇති අතර, රජයේ නිලධාරීන් විරෝධතා මර්දනය කරන බවට ද ප්රසිද්ධියේ ප්රකාශ කර ඇත.
කිසිදු විරෝධතාවයක් ආරම්භ වීමට ප්රථම එය ප්රචණ්ඩකාරී එකක් ලෙස හමුදාව හෝ පොලිසිය විසින් පූර්ව නිගමනයකට පැමිණීම අසාධාරණ බව පෙන්වා දෙන ඇම්නෙස්ටි ජාත්යන්තරය, සාමකාමීව රැස්වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
පවුල් සබඳතා සහ දේශපාලන මතවාද මත පමණක් පදනම්ව අත්අඩංගුවට ගෙන සිටින ඉම්රාන් ඛාන්ගේ ඥාතීන් ඇතුළු පක්ෂ ක්රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි ජාත්යන්තරය පකිස්තාන පාලකයන්ට අවධාරණය කරයි.



