ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන ඓතිහාසික තුන්දින නිල හමුව උණුසුම් අයුරින් ආරම්භ වි තිබෙනවා.
ඇමෙරිකාවේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් පිළිගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ රතු පලස් පිළිගැනීමක් සහ හමුදා ගුවන් යානා සංදර්ශනයක් සංවිධාන කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති ට්‍රම්ප් ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුර වෙතම පැමිණ චීන ජනාධිපතිවරයාව මෙලෙස ඉතා ඉහළින් පිළිගැනීම විශේෂත්වයක්.
මේ අතර දෙරට අතර පවතින වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් ලබා දෙමින්, ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට තිබූ වෙළඳ සහන කාලය ලබන වසරේ ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට ඇමෙරිකාව සහ චීනය එකඟ වූ බව ඇමෙරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර සිටිනවා.
දෙරටේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන් ද සහභාගී වන රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සංවෘත දොරටු පිටුපස පැවැත්වෙන සාකච්ඡා කිහිපයක් ද ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී දෙරට අතර පවතින තීරුබදු, කෘතිම බුද්ධිය, තායිවාන අර්බුදය සහ ඉරාන යුදමය වාතාවරණය ඇතුළු සංවේදී කරුණු රැසක් පිළිබඳව නායකයින් දෙපළගේ අවධානය යොමුවනු ඇතැයි සදහන්.
කෙසේවෙතත් චීන කොමියුනිස්ට් පක්ෂයට සහ කොමියුනිස්ට් මතවාදයන්ට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය දිගින් දිගටම හඬ නගද්දී, චීන ජනාධිපතිවරයාට මෙලෙස ඇමෙරිකාවේදී ඉහළ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම පරස්පර විරෝධී ක්‍රියාවක් බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ සභාපති මාර්ක් විකර් ප්‍රකාශ කර ඇත්තේ, චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ ෂී ජින්පින් ජනාධිපතිවරයාට මෙවැනි උණුසුම් පිළිගැනීමක් ලබානොදීමට ට්‍රම්ප් පියවර ගත යුතුව තිබූ බවයි.
කෙසේවෙතත් මෙම මතභේදාත්මක පසුබිම හමුවේ වුවද දෙරට අතර වෙළඳ සහ භූ-දේශපාලනික එකඟතාවලට පැමිණීමේ අරමුණින් නායක දෙපළගේ හමුව සැලසුම් කළ පරිදිම පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




