ඉන්දියාවේ ප්‍රමුඛතම තෙල් සහ ස්වභාවික වායු සංස්ථාව වන ONGC (Oil and Natural Gas Corp) ආයතනය, එරට දකුණු දිග මංගලෝර් නගරයේ මෙට්‍රික් ටොන් මිලියන 1.75 ක ධාරිතාවකින් යුත් උපායමාර්ගික බොරතෙල් සංචිත ගබඩාවක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
ලෝකයේ තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පරිභෝජනය කරන්නා වන ඉන්දියාව, ඉරාන යුද සමයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දුන්නේය.
ලෝකයේ සමස්ත බලශක්ති සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ මෙම මුහුදු මාර්ගයෙනි. මේ නිසා, හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තම රට සතු තෙල් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට ඉන්දියාව මේ වන විට සෙසු රටවල් සමඟ පවතින බලශක්ති සහයෝගිතාවද පුළුල් කරමින් සිටී.
ඉන්දියාවේ අංක එකේ තෙල් ගවේෂණ සමාගම වන ONGC ආයතනය සඳහන් කළේ, "ජාතික අවශ්‍යතාව" පෙරදැරි කරගෙන ඉදි කෙරෙන මෙම නව තෙල් ගබඩා සංකීර්ණයේ කොටසක් වාණිජ කටයුතු සඳහා ද භාවිත කිරීමට මධ්‍යම රජයේ අවසරය බලාපොරොත්තු වන බවයි.
දකුණු ඉන්දියාවේ මංගලෝර්, පදූර් සහ විසාග් යන ස්ථාන තුනක දැනටමත් මෙට්‍රික් ටොන් මිලියන 5.33 ක ධාරිතාවකින් යුත් උපායමාර්ගික තෙල් ගබඩා සංකීර්ණ පවතින අතර, ඒවායේ යම් කොටසක් වාණිජ අරමුණු වෙනුවෙන් භාවිත කිරීමට නවදිල්ලි රජය දැනටමත් අවසර දී ඇත.
රජය සතු 'ඉන්දියන් ස්ට්‍රැටීජික් පෙට්‍රෝලියම් රිසර්ව්ස් ලිමිටඩ්' ආයතනය මගින් මෙම පවත්නා තෙල් ගබඩා කළමනාකරණය කරනු ලබයි.
කෙසේ වෙතත්, මංගලෝර් හි ඉදි කිරීමට යෝජිත මෙම නව උපායමාර්ගික තෙල් සංචිත ව්‍යාපෘතිය සඳහා වැය වන පිරිවැය හෝ එය නිම කිරීමට ගතවන කාලය පිළිබඳව ONGC සමාගම මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළි කර නැත.
දැනට ඉන්දියාව සතු උපායමාර්ගික තෙල් සංචිත ප්‍රමාණය, එරට දෛනිකව පවතින බෑරල් මිලියන 5.2 ක තෙල් පිරිපහදු ධාරිතාව හා සසඳන විට ඉතා සුළු ප්‍රතිශතයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




