නේපාලයේ ඇති වූ චණ්ඩ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 2,000 කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති අතර, සහන සහ මුදාගැනීමේ කටයුතු සඳහා නේපාල බලධාරීන්ට සහාය වීම පිණිස 11 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමක් සෙනසුරාදා දින එරටට පැමිණියේය.

වෛද්‍ය නිලධාරීන් සහ උමං මාර්ග මුදාගැනීමේ විශේෂඥයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායම නේපාල රජයේ ඉල්ලීම පරිදි යවා ඇති බව ඉන්දීය තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

හිමාලයානු කලාපයට අයත් නේපාලයේ ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශ වෙත මෙම කණ්ඩායම යොමු කරමින් පවතින අතර, මේ වන විටත් එරට දැවැන්ත මට්ටමින් සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

පසුගිය බදාදා මධ්‍යම නේපාලයේ රසූවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ හදිසි චණ්ඩ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මියගිය අතර, ජනාවාස, මාර්ග, පාලම් සහ ජල විදුලි යටිතල පහසුකම්වලට ද දැවැන්ත හානි සිදුවිය.

කෙසේ වෙතත්, දේශීය පාරිසරික තත්ත්වයන් සහ දුෂ්කර භූමි භාගයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති තම ආරක්ෂක අංශ උපරිම ලෙස යොදවා ගැනීමට මුල් තැන දීමට අවශ්‍ය බව නේපාලය සිකුරාදා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සංකීර්ණ භෞතික නිර්මාණ ආශ්‍රිතව සුවිශේෂී තාක්ෂණික කුසලතා අවශ්‍ය වන අභියෝගාත්මක අවස්ථාවලදී ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට රජය සූදානම් බව විදේශ අමාත්‍ය ශිෂීර් ඛානාල් පැවසීය.

ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශවල ගමනාගමන සේවාවන් නැවත ආරම්භ කිරීම සඳහා බේලි පාලම් 42 ක් ඉදි කිරීමට සහාය වන ලෙස නේපාලය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.