පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ දැඩි වධහිංසාවට සහ මානසික පීඩනයට ලක්වෙමින් සිටින බව ඔහුගේ සොහොයුරිය වන වෛද්‍ය උස්මා ඛාන් චෝදනා කර සිටියි.
අධිකරණ නියෝගයකට අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඔහු ශාරීරිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ, හිටපු අගමැතිවරයාව යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන තිබේ.
තම සොහොයුරා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උස්මා ඛාන් සඳහන් කළේ, ''ඔහු තමන්ට වධහිංසා පමුණුවන බව මට පැවසුවා. ඔහුගේ එක් ඇසක් රෙදි පටියකින් බඳිනු ලැබ තිබුණා. තමන්ට දිගින් දිගටම වධහිංසා පමුණුවන බව ඔහු ප්‍රකාශ කළා," යනුවෙනි.
එමෙන්ම තමන්ට සිදුවන මෙම අසාධාරණය පිළිබඳව පිටත සිටින ජනතාව දැනුවත් කරන ලෙසත්, බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ හඬට සවන් නොදෙන අතර ඔවුන් මිනිසුන් ලෙස කටයුතු නොකරන බවත් ඉම්රාන් ඛාන් තමන් වෙත පැවසූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය ප්‍රකාශක සයෙඩ් සුල්ෆිකාර් බුකාරි ද මෙම චෝදනා තහවුරු කරමින් කියා සිටියේ, අඩියාලා බන්ධනාගාරය තුළදී හිටපු අගමැතිවරයා දැඩි මානසික පීඩනයකට සහ තදබල වධහිංසාවන්ට ලක්වන බවයි.




