ඇමරිකාව සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා.

උතුරු ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙතද ඉරාන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී තම සේවා බළකායේ සාමාජිකයෙකු මියගිය බවයි ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පැවසුවේ.

ප්‍රහාරයට පැමිණි ඩ්‍රෝන ප්‍රතිප්‍රහාර මගින් බිම හෙලූ බවද ඇමරිකානු මධ්‍යම අණ දෙන කාර්යාලය කියා සිටියා.

සේවා බලකායේ සාමාජිකයකු මිය ගියේ එලෙස බිම හෙලූ ඩ්‍රෝන යානයක තිබූ සක්‍රීය නොවූ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට යාමේදී ඇතිවූ පිපිරීමකින් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මෙහිදී තවත් සෙබළෙකු තුවාල ලබා තිබෙනවා.

ඉකුත් සිකුරාදා ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින්ද ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු මියගියා.

එහිදී තවත් අයෙකු අතුරුදන් වූ අතර ඔහු පිළිබඳව ද තවමත් කිසිදු තොරතුරක් නැහැ.

ප්‍රහාරය සිදුවූ ස්ථානයෙන් හඳුනානොගත් මළසිරුරු කොටස් ද හමුවී ඇති අතර, ඒවා කාගේදැයි තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

මේ අතර දෙපාර්ශවය අතර සිදුවන යුද ගැටුම්වලදී සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින්ද ප්‍රහාර එල්ලවෙමින් තිබෙනවා.

ඉරානයේ ඉදිවෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයකටද ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල වී තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ.

එසේ තිබියදී ජෝර්දාන දේශ සීමාව දෙසට පැමිණි ඉරාන මිසයිල 3ක් ජෝර්දාන හමුදාව විසින් බිම හෙළා ඇති අතර, එහි සුන්බුන් ඊශ්‍රායල සීමාවට වැටීම වැළැක්වීමට ඊශ්‍රායල හමුදාවද ක්‍රියා කර තිබෙනවා.

කුවේටයේ විදුලි හා ජල බලාගාරයකටද යළි ප්‍රහාර එල්ල වී තිබෙන බවයි BBC වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.