අමෙරිකානු හමුදාවන් ඉරානයේ වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කරමින් යළිත් වරක් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි 'කෙෂ්ම්' දූපතට ඇමෙරිකානු හමුදාවන් මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉකුත්දා ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කදවුරකට කෙරුණූ ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය සිදුකළ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පැවසුවා.
ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කදවුරකට කෙරුණූ මුල් ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබලුන් දෙදෙනෙකු මියගිය අතර තවත් සෙබලෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.
කෙසේවෙතත් ඇමෙරිකානු ප්‍රහාර නිසා ඉරානය ද පසුබැස නැහැ.
'කෙෂ්ම්' දූපතට කෙරුණු අමෙරිකානු ප්‍රහාරවලට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කුවේට් හි පිහිටි 'කෑම්ප් උඩයිරි' සහ 'අලි අල් සලෙම්' යන ඇමෙරිකානු කඳවුරුවලට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර ඉකුක් සති තුන තුළ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන වැසියන් 50 දෙනෙකු මියගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එසේම පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට මියගිය ඇමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කියා සිටියේ මියගිය සෙබළුන්ගේ කැපකිරීම් තම රටේ අධිෂ්ඨානය තවදුරටත් ශක්තිමත් කරන බවයි.
දෙපාර්ශවය විසින්ම සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ඇති බවටද මේ වන විට චෝදනා එල්ල වනවා.
කුවේට් රාජ්‍යයේ විදුලි බලගාරයකට සහ ජල පවිත්‍රාගාරයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බවයි ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය පවසන්නේ.
ඉරානයේ පාලම් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර සිදුකළ බවට අමෙරිකාවට ද චෝදනා එල්ල වනවා.




