අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගන්නා නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මර්දනය කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
මේ වනවිට එක දිගට දින දහයක් පුරා ඇමෙරිකාව විසින් ඉරානයට මෙලෙස ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
මෑතකදී ජෝර්දානයේ සහ ඉරාකයේදී මියගිය ඇමෙරිකානු සෙබළුන් වෙනුවෙන් ඉරානයට දැඩි ලෙස රිදවන බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.
"ඇමෙරිකානු සෙබළෙකුගේ ජීවිතයක් නැති වන සෑම අවස්ථාවකදීම ඉරානයට ඊට වඩා විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව” ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ තමන් මේ වන විට ඇමෙරිකාව සමග පූර්ණ යුද්ධයක නිරත වන බවයි.
ඉරානය විසින්ද බහරේන්, ජෝර්දානය සහ සිරියාවේ පිහිටි ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගැටුම් උග්‍ර වුවද දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවන් මාර්ගයෙන් රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩ හුවමාරු වන බවයි ටෙහෙරාන් පාලනය පවසන්නේ.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ජෝර්දානය සහ කුවේටය ප්‍රකාශ කරනවා.
එසේ තිබියදී, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නැව් දෙකක් පිපිරී ගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.
එහෙත් ඇමෙරිකානු මධ්‍යම බලකාය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර සිටිනවා.



