කළු මුහුදේ බල්ගේරියානු වෙරළ ආසන්නයේ දී නෞකා දෙකක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් නෞකා දෙකටම හානි සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එක් නෞකාවක් සම්පූර්ණයෙන්ම පාහේ මුහුදේ ගිලී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ප්‍රහාරයට ලක්වු නෞකා දෙකෙන් එකක් යුක්‍රේන හිමිකාරීත්වය සහිත, මෝල්ටා ධජය යටතේ යාත්‍රා කළ චෙල්සි 3 බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බල්ගේරියානු වෙරළේ සිට නාවික සැතපුම් 18 ක් පමණ ඈත මුහුදේදීයි මෙම නෞකාව ප්‍රහාරයට ලක්වි ඇත්තේ.

ඒ වෙත ඩ්‍රෝන ප්‍රහාර තුනක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ චෙල්සි 3 නෞකාවේ 15 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබෙනවා.

බේරා ගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ කිරීම නිසා ඔවුන් සියලු දෙනා බේරාගැනීමට හැකි වූ බවයි බල්ගේරියානු අගමැති රුමෙන් රද්වේ පැවසුවේ.

ගොඩට රැගෙන ඒමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

ගිනියා-බිසාව් ධජය යටතේ යාත්‍රා කළ එච්.එස්. ඩිග්නිටි ප්‍රහාරයට ලක් වූ අනෙක් නෞකාවයි.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එය රුමේනියානු දේශසීමාව ආසන්නයේ ක්‍රපෙට්ස් ගම්මානයට ඔබ්බෙන් මුහුදේ ගිලී ගොස් තිබෙනවා.

බේරා ගැනීමේ මෙහෙයුම්වලදී මෙම නෞකාවේ සිටි අයගෙන් 5දෙනෙකු ද බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් එහි සිටි තවත් 11 දෙනෙකු අතුරුදන්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බව බල්ගේරියානු ජනාධිපති ඉලියානා අයෝටවා පැවසුවා.

මේ අතර අගමැති රුමෙන් රද්වේ පැවසුවේ මෙම ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි එකක් බවයි.

සිය මුහුදු සීමාවට ආසන්නයේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම ගැන දැඩි කණගාටුව පළකරන බවද අගමැතිවරයා පැවසුවා.

ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක්දැයි පැහැදිලි සාක්ෂි නැතත්, මෙයින් වාසිය ලැබෙන්නේ රුසියාවට බවයි අගමැති රුමෙන් රද්වේ වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව ඒ පිළිබඳව විමසීමට රුසියානු තානාපතිවරයා වහා කැඳවන බවද අගමැතිවරයා පැවසුවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලෙයන් කියා සිටියේ කළු මුහුද යනු රුසියානු යුක්‍රේන යුද්ධයේ තවත් ප්‍රධාන ගැටුම්කාරී ස්ථානයක් බවට පත්ව තිබෙන බවයි.

වෙළඳ නෞකාවලට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම සහ නෞකාවල සිටින අයගේ ජීවිත අනතුරේ හෙලීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද ඇය එක්ස් සටහනක් තබමින් අවධාරණය කර තිබෙනවා.

නේටෝ සංවිධානයේ ප්‍රධානියා වන මාර්ක් රුටේ ද පවසා සිටියේ, මෙම ප්‍රහාරය රුදුරු හා සාධාරණීය කළ නොහැකි එකක් බවයි.

මෙම ප්‍රහාරය සැලකිල්ලට ගෙන සිය ආරක්ෂක උපාය මාර්ග ඉදිරියේදී අවශ්‍ය පරිදි වෙනස් කරන බවද ඔහු කියා සිටියා.