ක්වොන්ටම් පරිගණක සහ කෘෂි තාක්ෂණික පර්යේෂණ වෙනුවෙන් මෙල්බර්න් විශ්වවිද්‍යාලය සහ තමිල්නාඩුව අතර විශේෂ ගිවිසුමක්
දකුණු ඉන්දියාවේ නැඟී එන තාක්ෂණයන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලය සහ තමිල්නාඩු කාර්මික සංවර්ධන සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
මෙමඟින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ක්වොන්ටම් පරිගණකකරණය (quantum computing), කෘෂි-තාක්ෂණය, පර්යේෂණ සහ ශ්‍රම බලකා සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.
තිරුවල්ලූර් හි පිහිටි 'තමිල්නාඩු විද්‍යා නගරය' තුළ මෙම නව මධ්‍යස්ථානය ඉදිවීමට නියමිතය. ඒ අනුව එහි පිහිටි 'දැනුම කුළුණ' පරිශ්‍රය තුළ වර්ග අඩි 20,000ක ඉඩකඩක් පර්යේෂණ සහ ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් වෙන් කෙරේ.
මෙම හවුල්කාරිත්වය යටතේ ඒකාබද්ධ පර්යේෂණ, විෂයමාලා සකස් කිරීම, ශ්‍රම බලකා පුහුණුව සහ කර්මාන්ත කේන්ද්‍ර කරගත් නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ එක්ව මූලික, ව්‍යවහාරික සහ ප්‍රායෝගික පර්යේෂණ රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, විශ්වවිද්‍යාල පද්ධතිය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සන්ධානය ශක්තිමත් කිරීම වෙනුවෙන් වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා, ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති, තාක්ෂණික වැඩමුළු, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් මෙන්ම ද්විත්ව සහතික පත්‍ර පාඨමාලා රැසක් ද මෙමඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම එකඟතාව පිළිබඳව අදහස් දක්වමින් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය මයිකල් වෙස්ලි ප්‍රකාශ කළේ, මෙය ඉන්දියාවේ නවෝත්පාදන ක්ෂේත්‍රය සමඟ තම විශ්වවිද්‍යාලය පවත්වන සබඳතා තවදුරටත් තහවුරු කරන්නක් බවයි.
මෙම නව මධ්‍යස්ථානය හරහා පර්යේෂකයන්, කර්මාන්තකරුවන් සහ සිසුන් එකම වහලක් යටට පැමිණ අනාගත තාක්ෂණයන් වෙනුවෙන් එක්ව කටයුතු කරනු ඇතැයි ද, එමඟින් ඉන්දියාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට ද ඉහළ වටිනාකමක් එකතු වන නවෝත්පාදනයන් බිහිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
තමිල්නාඩු කාර්මික සංවර්ධන සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඩී. කාර්තිකේයන් සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය හරහා තමිල්නාඩුව නැඟී එන තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්වන බවයි. "මෙම සබඳතාව තමිල්නාඩුවේ නවෝත්පාදන පරිසර පද්ධතියට ලැබුණු සුවිශේෂී මෙන්ම පරිවර්තනීය අවස්ථාවක්," යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.



