චීනය තුළදී අතුරුදන් වූ, ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගත් හෝ ගමනාගමන සීමාවන්ට ලක්වූ බවට සැකකෙරෙන තායිවාන ජාතිකයන් සංඛ්‍යාව මේ වසරේදී 458 දක්වා ඉහළ ගොස් ඇති බව තායිවානයේ ප්‍රධාන භූමි කටයුතු පිළිබඳ කවුන්සිලයේ දත්ත ඇසුරින් Taipei Times පුවත්පත වාර්තා කරයි.
මෙම සංඛ්‍යාලේඛන මගින් ඉකුත් සිකුරාදා දක්වා වාර්තා වූ සිදුවීම් ආවරණය වන අතර, එය ඔක්තෝබර් 8 වැනිදායින් අවසන් වූ පෙර සතියේ සංඛ්‍යාවට වඩා සිව්ගුණයක ඉහළ යාමකි.
මෙම 458 දෙනා කොටස් තුනකට වර්ග කර ඇත. ඒ අනුව අතුරුදහන් වූවන් ලෙස වාර්තා වූ සංඛ්‍යාව පෙර සතියේ පැවැති 173 සිට 175 දක්වා වැඩි වී තිබේ. ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 39 සිට 41 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 242 දෙදෙනෙකු චීන බලධාරීන් භාරයේ පසුවෙති. එම සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැත.
මේ අතර, වසර ගණනාවක් තිස්සේ චීනයේ ජීවත් වූ 'ඉ-කුවාන් තාඕ' ආගමික කණ්ඩායමේ තායිවාන සාමාජිකයන් පිරිසක් පසුගිය අප්‍රේල් සහ ජූලි මාස අතර කාලය තුළ විවිධ සිදුවීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් කිසිවෙකුත් මෙතෙක් මුදා හැර නොමැති බවත් සමුද්‍රසන්ධි හුවමාරු පදනමේ ලේකම් ජනරාල් ලුඕ වෙන-ජියා ප්‍රකාශ කළ බව තායිපේ ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ලුඕ, අප්‍රේල් මාසයේදී ෆුජියෑන් පළාතේ පදිංචිව සිටි චීන පදිංචි බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පැවසීය.
මැයි මාසයේදී ගුවැංඩොං පළාතේ දොංඟුවාන් හි සේවය කළ තායිවාන ගුරුවරයෙකු ද, ජූනි මාසයේදී ෂෙන්ෂෙන් හි පදනම් වූ ව්‍යාපාරිකයෙකු ද, ජූලි මාසයේදී ෆුජියෑන් හි ෂැංෂෝ වෙත පදිංචියට ගිය විශ්‍රාමික තායිවාන ජාතිකයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම් හතරෙහිම ඇති පොදු ලක්ෂණය වන්නේ අත්අඩංගුවට පත් සියලු දෙනා 'ඉ-කුවාන් තාඕ' ආගමික විශ්වාසයන් අනුගමනය කරන්නන් වීම බව ලුඕ වැඩිදුරටත් සඳහන් කළේය.



