යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුලව භාවිත වන, ඇමෙරිකාවේ නිෂ්පාදිත ‘හයිමාර්ස්’ සෙලවිය හැකි නවීන රොකට් පද්ධතිය තායිවාන ආරක්ෂක හමුදාව විසින් සාර්ථකව අත්හදා බලා තිබේ.
පසුගිය බදාදා සිදුකළ මෙම යුධ අභ්‍යාසයේදී, චීන ආක්රමණික හමුදාවක් එල්ල කරන ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය සහ සතුරාගේ රේඩාර් පද්ධතිවලට හසුනොවී ප්‍රහාර එල්ල කර වහාම එම ස්ථානයෙන් පසුබැසීමේ සුවිශේෂී හැකියාව ප්‍රදර්ශනය කිරීමට තායිවාන හමුදාව සමත් විය.
ප්රජාතන්ත්රවාදී පාලනයක් සහිත තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය, එය යටත් කරගැනීම සඳහා යුධ බලය භාවිත කිරීම ප්‍රතික්ෂේප කර නොමැති අතර, චීන ප්‍රහාරක ගුවන් යානා සහ යුධ නැව් දිනපතාම පාහේ තායිවාන මුහුදු සීමාව ආසන්නයේ මෙහෙයුම්වල නිරත වේ.
ලොක්හීඩ් මාටින් සමාගම නිෂ්පාදනය කරන මෙම High Mobility Artillery Rocket Systems හෙවත් HIMARS, තායිවානය විසින් ප්‍රථම වරට අත්හදා බලන ලද්දේ පසුගිය වසරේදී එරට නැගෙනහිර වෙරළ තීරයේදීය.
කෙසේ වෙතත්, තායිවානය මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ‘තායිචුන්ග්' නුවර බටහිර වෙරළ තීරයේදී මෙම අතිනවීන අවි පද්ධතිය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
තායිවාන හමුදාව ප්‍රකාශ කළේ, මෙම යුධ අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වූයේ හයිමාර්ස් රොකට් පද්ධතිය සතු ඉහළ චලන හැකියාව සහ ප්‍රහාරයකින් පසු සතුරු රේඩාර්වලට හසුනොවී වහාම එම ස්ථානයෙන් ඉවත් වීමේ හැකියාව පෙන්වීම බවයි.
මේ හරහා සටන් බිම තුළ සෙබළුන්ගේ සහ අවි පද්ධතිවල පැවැත්ම විශාල වශයෙන් ඉහළ නංවන බව ඔවුහු පෙන්වා දෙති.
"අපගේ හයිමාර්ස් බලඇණිය සතු ශක්තිමත් සටන්කාමී හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මෙම යුධ පුහුණුව ඉතාමත් සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා," යනුවෙන් බලඇණි අණදෙන නිලධාරී කෝ මින්ග්-පින් ප්‍රකාශ කළේය.
දැනට පවතින රුසියානු-යුක්රේන යුද්ධයේදී යුක්රේන හමුදාව සතු ප්‍රධානතම සහ බලගතුම ප්‍රහාරක අවි පද්ධතියක් වන්නේද මෙම ‘හයිමාර්ස්’ රොකට් පද්ධතියයි.



