චීනයේ ෂැන්ඩොං පළාතේ පිහිටි නැව් තටාකාංගනයක නවතා තිබූ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ගින්න හටගැනීමත් සමඟ මුලින් අතුරුදන්ව සිටින බවට වාර්තා වූ පුද්ගලයින් 25 දෙනාම මෙම අනතුරින් මියගොස් ඇති බව පසුව තහවුරු විය.
ෂින්හුවා පුවත් සේවය උපුටා දක්වමින් නගර ගිනි නිවීම සහ මුදවා ගැනීමේ කාර්යාංශය ප්‍රකාශ කළේ, 'චීන රාජ්‍ය නැව් තැනීමේ සංස්ථාවට අයත් කිංඩාඕ බේහයි නැව් තැනීමේ සමාගමේ නැව් තටාකාංගනයේදී මෙම නෞකාව නඩත්තු කරමින් තිබියදී ගින්න හටගෙන ඇති බවයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාව මත පුද්ගලයින් 42 දෙනෙකු සිට ඇත. ඔවුන්ගෙන් 12 දෙනෙකු නෞකාවෙන් ආරක්ෂිතව ඉවත් කර ගෙන ඇති අතර, තවත් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වේ. චීනයේ රාජ්‍ය සතු ෂින්හුවා පුවත් නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද ඡායාරූපයක දැක්වෙන පරිදි, අනතුරට ලක්ව ඇත්තේ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කෙරෙන Ocean Melody නමැති තොග භාණ්ඩ නෞකාවයි.
වාණිජ නැව් තැනීම, නැව් අලුත්වැඩියා කිරීම සහ අක්වෙරළ ඉංජිනේරු කටයුතු සඳහා විශේෂඥතාවක් දක්වන චීනයේ ප්‍රධාන පෙළේ නැව් තටාකාංගනයක් වන කිංඩාඕ බේහයි ආයතනය පාලනය කරනු ලබන්නේ චීන රාජ්‍ය නැව් තැනීමේ සංස්ථාව විසිනි.
අගෝස්තු 13 වන දින ෆුජියන් පළාතේ 'සෙන්චුරි හුහායි' නැව් තටාකාංගනයේ නෞකාවක හටගත් මාරාන්තික ගින්නකින් සහ ඉන් පසු සිදු වූ පිපිරීමකින් ගිනි නිවීම් භටයෙකු ජීවිතක්ෂයට පත්වී මසක් ගත වීමටත් මත්තෙන් මෙම අනතුර සිදුව තිබීම විශේෂත්වයකි.




