අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ "ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය" (White House Correspondents' Dinner) අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති මෙම උත්සවය අතරතුර අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9 ට පමණයි වෙඩිතැබීම සිදුව ඇත්තේ.

BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදී වෙඩි හඬවල් හත අටක් පමණ ඇසී ඇති අතර, ඒ සමඟම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් වහාම ජනාධිපතිවරයා ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව සහ අනෙකුත් ප්‍රභූන් සියලු දෙනාම මේ වන විට ආරක්ෂිතව පසුවන බවයි වාර්තා වන්නේ.
වෙඩි හඬ ඇසීමත් සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි 2,500 කට වැඩි ආරාධිත පිරිස කලබලයට පත්ව මේස යට සැඟවී තිබෙනවා.

එෆ්.බී.අයි (FBI) අධ්‍යක්ෂ කාෂ් පටෙල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද වහාම එම ශාලාවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් පැවසුවේ.

මීට කෙටි වේලාවකට පෙර සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත්තේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

"වැඩසටහන දිගටම කරගෙන යාමට මම යෝජනා කළත්, නීතිය ක්‍රියාත්මක කරන අංශවල උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බව" ද ජනාධිපතිවරයා සිය 'Truth Social' ගිණුමේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හෝටල් පරිශ්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් ශාලාව තුළ රැඳී සිටින බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් ශාලාව වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.