ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත අප්‍රසාදය පළකරනවා.
ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, යම් පුද්ගලයෙකු සෙවීම සඳහා සිවිල් වැසියන් වෙසෙන මහල් නිවාස පිටින් විනාශ කිරීම ඊශ්‍රායලය විසින් නතර කළ යුතු බවයි.
එම නිවාසවල සිටින සියලුම දෙනා හිස්බුල්ලා සාමාජිකයන් නොවන බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට මතක් කර දුන්නා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට " නිසි තීරණ ගැනීමේ කිසිදු හැකියාවක් නැති" බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථාවකදී කියා සිටියේ.
එසේතිබියදී ලෙබනන් ආක්‍රමණය සම්බන්ධයෙන් ද නෙතන්යාහු මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු ඔහු අද නැවතත් අවධාරණය කළා.
කෙසේ වෙතත්, ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් නව සාම ගිවිසුමට ලෙබනන් ගැටුම්වලින් බාධාවක් නොවනු ඇති බවටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරන්නේ.
ලෙබනන් ගැටුම "කුඩා යුද්ධයක්" ලෙසත්, හිස්බුල්ලා සංවිධානය "කුඩා කූඩැල්ලෙක්" ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී හඳුන්වා දුන්නා.
නමුත් ඉරානයට ලෙබනනය ඉතා වැදගත් බැවින්, ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර නිසා ඇමරිකා - ඉරාන සාම ක්‍රියාවලිය අනතුරේ වැටීමේ අවදානමක් පවතින බවයි විචාරකයන් පවසන්නේ.
මේ අතර, ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ මෙම එකඟතාවය හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ එකඟතාව ඊශ්‍රායල මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී හොදම සහ ප්‍රධාන මිතුරා වන ඇමරිකාව විසින් නෙතන්යාහු කොන් කිරීමක් ලෙසයි ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායල ඇතැම් වැසියන් සහ විපක්ෂ කණ්ඩායම් ද දැන් අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් සිටිනවා.
නමුත් දිගින් දිගටම එල්ල වන මෙම විවේචන හමුවේ පවා නෙතන්යාහු ප්‍රකාශ කළේ, ඇමරිකා - ඉරාන ගිවිසුම කුමක් වුවත් දකුණු ලෙබනනයේ සිටින ඊශ්‍රායල සේනාංක දිගටම එරට රැඳී සිටින බවයි.
කෙසේවෙතත් මින් ඉදිරියටත් ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කළහොත් හෝ ඊශ්‍රායලය හමුදා තවදුරටත් ලෙබනනයේ රැඳී සිටියහොත් එය ඇමරිකාව සමඟ ඇති කරගත් අතුරු සාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුවයි ඊශ්‍රායලයේ හිතුවක්කාර හැසිරීම ඇමරිකා - ඉරාන සාම ක්‍රියාවලිය අනතුරේ හෙලන බවට විචාරකයින් ද පෙන්වා දෙන්නේ.



