ඉරානයේ නටාන්ස් ප්‍රදේශයේ පිහිටි රහසිගත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ඉදිරියේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
නමුත් ඉරාන හමුදා බලධාරීන් පවසන්නේ එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය කලාපීය යුද්ධයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවයි.
එවැනි අවස්ථාවකදී අමෙරිකාවට සහ ඇමෙරිකානු හිතවාදී පාර්ශ්වවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන බවයි ඉරානය වැඩිදුරටත් කියාසිටියේ.
එසේ තිබියදී ඉරානය සමග පවතින යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට මේ වන විට ඩොලර් බිලියන 37.5 කට අධික මුදලක් වැය වී ඇති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරනවා.
ඒ අනුව අතිරේක ප්‍රතිපාදන වෙන් කර නොදුන්නොත් ඇමෙරිකානු හමුදා පුහුණු කිරීම් පවා සීමා කිරීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.
කෙසේවෙතත් ඇමෙරිකානු බලකායන් අඛණ්ඩව එකොළොස්වන රාත්‍රියටත් ඊයේ ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළා.
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සහ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලගාරය පිහිටි ප්‍රදේශයේ ද ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.
එම ප්‍රදේශවලින් මහා පිපිරුම් හඬවල් ඇසුණු බව ද විදෙස් වාර්තිවල සදහන්.
ඉකුත් මාස තුන තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වෙළඳ නෞකා තිහකට වැඩි ප්‍රමාණයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇතැයි ඇමෙරිකාව චෝදනා කරනවා.
ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඉරානයට ප්‍රහාර එල්ල කරන බවයි අමෙරිකානු මාධ්‍යම අණදෙන බලකාය පැවසුවේ.
ඉරානය ද දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
කුවේටය, බහරේනය සහ ජෝර්දානය යන රටවල් ප්‍රහාර වලට ඉලක්ක වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ඉරානයේ සිට පැමිණි ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කිහිපයක් සාර්ථකව විනාශ කළ බව එම රටවල් ද ප්‍රකාශ කළා.
මේ අතර සෞදි අරාබියේ යාන්බු වරායෙන් තෙල් පටවාගෙන චීනය සහ ඉන්දියාව බලා යාමට නියමිතව තිබූ තෙල් නැව් දෙකක්, යේමනයේ හූති කැරලිකරුවන්ගේ තර්ජන හමුවේ නැවත හරවා යවා තිබෙනවා.
හූති සංවිධානය රතු මුහුදේ බලපෑම එල්ල කරමින් සෞදි නැව් සඳහා මාර්ග වසා දමන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් ද නැවතත් කැපී පෙනෙන ලෙස වෙනස් වීමට පටන් ගෙන තිබෙන බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසන්නේ.




