ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා සිදුවෙමින් පවතින පසුබිමක, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසර මුලදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේය.

ඉන්දීය පුවත් සේවාවක් වන IANS වෙත සෙනසුරාදා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා තමන් ද මෙම වසර තුළ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

"ලබන වසරේ මුල් භාගයේදී පමණ ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණීමට හැකි වන පරිදි අපි කටයුතු සූදානම් කරමින් සිටිනවා," යැයි රුබියෝ පැවසූ බව IANS පුවත් සේවය වාර්තා කර ඇත.

පසුගිය සතියේ ප්‍රංශයේ පැවැති ප්‍රමුඛ පෙළේ කාර්මික රටවල (G7) සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ට්‍රම්ප් හමු වූ අතර එහිදී ඔවුන් අතර ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණු බව ට්‍රම්ප් ද පවසා තිබුණි.

ජපානය සහ ඕස්ට්‍රේලියාව ද සම්බන්ධ වන පුළුල් රාජ්‍ය තාන්ත්‍රික හමුවක කොටසක් ලෙස හෝ ට්‍රම්ප්ට ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය රජය මාස කිහිපයක සිටම ඇමෙරිකාවෙන් ඉල්ලීම් කර තිබුණි.

මෙම IANS සම්මුඛ සාකච්ඡාවේදී රුබියෝ වැඩිදුරටත් අවධාරණය කළේ ඉන්දියාව සමඟ පවතින වෙළඳ ගිවිසුම සාර්ථකව අවසන් කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බවයි.

"අපි දැන් ඉන්නේ එය සාර්ථක කර ගැනීමේ අවසන් අදියරේ. එහි ප්‍රගතිය ඉතාමත් ධනාත්මකයි," යැයි ඔහු පවසා සිටියේය.