ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ අතුරු මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමග, කෘතිම බුද්ධි තාක්ෂණික සංවර්ධන කටයුතු මන්දගාමී වනු ඇතැයි යන බිය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වල වෙළඳපොළ අගයෙන් ඩොලර් බිලියන සිය ගණනක් අහිමි වී තිබෙනවා.
ඩිමොක්රටික් පක්ෂය ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය හිමිකර ගැනීමත් සමග තාක්ෂණික ක්ෂේත්රයේ කොටස් වෙළඳපොළ අගයන් දැඩි ලෙස පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව නාස්ඩැක් සංයුක්ත කොටස් දර්ශකය සියයට 5.5 කින් පහත වැටී ඇති අතර, එහි වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ඩොලර් ට්‍රිිලියන 2.5 ක පමණ අලාභයක් සිදුව තිබෙනවා.
මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සීමා කිරීමට සහ පාලනය කිරීමට ඩිමොක්රටික් පක්ෂයේ නියෝජිතයින් දැඩි ලෙස බලපෑම් කළ අතර, ටෙක්සාස් ප්‍රාන්තයේ නව ඩිමොක්රටික් ආණ්ඩුකාරවරිය ලෙස තේරී පත් වූ ජිනා හිනොජොසා ද නව දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම අත්හිටුවීමේ තහනමක් පනවන බවට ප්‍රකාශ කර තිබුණා.
මේ අතර, සිදුවූ කොටස් වෙළඳපොළ කඩාවැටීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කඩාවැටීමට ඩිමොක්රටික් පක්ෂයේ ක්‍රියාකලාපය හේතු වූ බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී නැවතත් ශක්තිමත්ව නැගී සිටින බවටද ඔහු විශ්වාසය පළ කර සිටිනවා.
මෙම තත්ත්වය හමුවේ AI දත්ත මධ්‍යස්ථාන සඳහා ප්‍රධාන වශයෙන් අර්ධ සන්නායක සහ චිප්ස් නිෂ්පාදනය කරන Nvidia සමාගමේ කොටස් අගය සියයට 9 කින් පහත වැටී ඇති අතර, AMD සහ Micron සමාගම්වල කොටස් අගය සියයට 17 කින් පහත වැටී තිබෙනවා.
එමෙන්ම ඉන්ටෙල් සමාගමේ කොටස් සියයට 10.3 කින් සහ සැන්ඩිස්ක් සමාගමේ කොටස් සියයට 22 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව, ඉලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සහ ස්පේස් එක්ස් යන සමාගම්වල කොටස් අගයන් ද පිළිවෙලින් සියයට 11 කින් සහ සියයට 8 කින් පහත වැටී ඇති අතර, එමගින් ඩොලර් බිලියන 300 කට අධික වෙළඳපොළ අගයක් අහිමි වී තිබෙනවා.
AI තාක්ෂණය වෙනුවෙන් යෙදවූ අධික පිරිවැයට සාපේක්ෂව අපේක්ෂිත ප්රතිලාභ හිමිවේදැයි නැගී ඇති සැකය සහ මෙම කොටස් වෙළඳපොළ බුබුලක්ද යන බිය ආයෝජකයින් අතර කැලඹීමක් ඇති කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් OpenAI සමාගම සඳහන් කළේ, දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව ප්‍රජාවගෙන් එල්ල වූ මෙම දැඩි විරෝධය සියලු දෙනා නොසිතූ එකක් බවයි.
හුදෙක් පණිවුඩයක් නිකුත් කිරීමෙන් පමණක් ප්‍රාන්තවල යටිතල පහසුකම් ගොඩනැගිය නොහැකි බවත්, එම ප්‍රජාවන් අතරට ගොස් ඔවුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම Meta සමාගමේ සභාපතිනි ඩිනා පවෙල් සඳහන් කළේ AI තාක්ෂණයේ ඇති සුබවාදී පැත්ත මහජනතාවට වටහා දීමට තාක්ෂණික ක්ෂේත්රය මීට වඩා වැඩි උත්සාහයක් ගත යුතු බවයි.
මේ අතර කෘතිම බුද්ධි ක්ෂේත්රයේ ආයෝජන සම්බන්ධයෙන් ඇති වූ මෙම හදිසි බිය සහ අවිනිශ්චිතභාවය වෝල් ස්ට්‍රිට් කොටස් වෙළඳපොළට දැඩි ලෙස බලපා ඇති බව Wealth Clubහි ප්‍රධාන ආයෝජන මූලෝපායඥ සුසානා ස්ට්‍රීටර් පෙන්වා දී තිබෙනවා.




