ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරගැනීමට ලැබුණු අවස්ථාව ඉරානය මගහැර ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ඉරානයට එරෙහිව බලගතුම සහ දරුණුතම ආර්ථික සම්බාධක පනවන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ, මෙය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ”ආර්ථික D-Day” එකක් වන අතර ඉරානය සම්පූර්ණයෙන්ම තනි කිරීම සඳහා සියලුම මිත්‍ර රටවල් ඇමෙරිකාව සමග එක්විය යුතු බවයි.
එමෙන්ම ඉරානය සමග තෙල් ජාවාරම්, මූල්‍ය හුවමාරු, ගුවන් තොටුපොළ හෝ වෙනත් ඕනෑම ආකාරයක වෙළඳ සහ සහන සේවා සපයන යම් රටක් හෝ ආයතනයක් වේ නම්, එම පාර්ශවයන්ටද දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබෙනවා.
Operation Economic Fury මෙහෙයුම යටතේ ඇමෙරිකාව විසින් මේ වන විටත් ඉරානයේ තෙල්, නාවික සහ මූල්‍ය ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් සම්බාධක පනවා ඇති අතර, ඉරාන වරායන් වෙත නාවික අවහිරතාවයක්ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




