මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් තීව්‍ර කරමින්, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු යුද ගැටුම් මෙන්ම වාග් ප්‍රහාර ද මේ වන විට උග්‍ර වී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඉරානය සිදුකරන ඕනෑම ප්‍රහාරයකට තමන් විසි ගුණයක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවයි.

එමෙන්ම, මෙම ප්‍රහාර මාලාවේ අරමුණ ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ අතර, අමෙරිකාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සාම සාකච්ඡා සඳහා වන ඉරාන ප්‍රධාන නියෝජිත මොහොමඩ් බගර් ගලිබාෆ් සඳහන් කළේ, ”බිය ගැන්වීම්වලට හෝ තර්ජනවලට ඉරානය කිසිසේත් බිය නොවන බවත්, තම පොරොන්දු කඩකරමින් කටයුතු කරන අමෙරිකාවට ඒ සඳහා කවදා හෝ විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත් අමෙරිකාව තවමත් තේරුම් ගෙන නොමැති” බවයි.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ, අමෙරිකාව ඊයේ දිනයේදී ඉරානයේ ඉලක්ක 90කට පහර දී තිබෙනවා.

මීට ප්‍රතිචාර ලෙස බහරේනය සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර දියත් කළ බවයි ඉරානය ප්‍රකාශ කරන්නේ.

මෙම ගැටුම් හේතුවෙන් බහරේනයේ අගනුවර වන මනාමා ප්‍රදේශයේ පිපිරීම් රැසක් සිදුව ඇති අතර, කුවේට් රාජ්‍යය ද මිසයිල සහ ඩ්‍රෝන යානා සමග අන්තර්ක්‍රියා කර තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බහරේනය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් තම ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති අතර, ජනතාවට වඩාත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.