නේපාලය සහ ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ දරුණු හිමකන්දක් කඩා වැටීම හේතුවෙන් හටගත් හදිසි ගංවතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475ක් වන බව නේපාල පොලීසිය පවසනවා.

ග්ලැසියරයක් හෙවත් හිමකන්දක් කඩා වැටීමෙන් හටගත් මෙම ප්‍රබල ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස, මාර්ග රැසක් සහ පාලම් 80 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර නේපාල-ටිබෙට් ප්‍රධාන මායිම් පිවිසුමද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටින අතර, ඒ අතර විදේශීය සංචාරකයින් සහ වන්දනාකරුවන් සිය ගණනක්ද සිටින බව වාර්තා වනවා.

ටිබෙට් කලාපයේ පමණක් 550 කට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, සුන්බුන් සිරවීමෙන් අලුතින් නිර්මාණය වූ කෘතිම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් එය පිටාර ගැලීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් චීන බලධාරීන් විසින් ටිබෙට් මායිමේ ප්‍රධාන විපත සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙවන ගංවතුර රැල්ලක් පැමිණීමේ දැඩි අවදානම හමුවේ සහන කණ්ඩායම්ද දැඩි භීතියෙන් පසුවන බව වැඩිදුරටත් වාර්තා වුණේ.