බටහිර යුරෝපයට බලපා ඇති අතිශය දරුණු උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශය, බි්රතාන්යය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් රැසක උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රංශයේ සමස්ත සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
එය 1947 වසරෙන් පසු එරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි.
පැරිස් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල එය සෙල්සියස් අංශක 43ක් ලෙස වාර්තා වනවා.
දැනටමත් ප්‍රංශයේ අඩකට වඩා වැඩි ප්‍රදේශයකට රතු නිවේදන නිකුත් කර අවසන්.
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ අපහසුතාව හේතුවෙන් පැරිස් නුවර සුප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය සහ අයිෆල් කුළුණ නියමිත වේලාවට පෙර වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
ප්‍රංශය පුරා අධික උෂ්ණත්වය නිසා සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් අවුරුදු 6ක දරුවෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ අතර, ප්‍රංශයේ වනාන්තර රැසක ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර මේ වන විටත් ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා තිබෙනවා.
එක්සත් රාජධානියේ හැම්ප්ෂයර් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.1ක් ලෙස සටහන් වූ අතර, එය එරට ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම ජූනි මාසයේ දිනය බවට පත්ව තිබෙනවා.
ඉදිරි දිනවලදී එය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
ස්පාඤ්ඤයේ ද 1950 වසරෙන් පසු ජූනි මාසයක වාර්තා වූ ඉහළම දෛනික සාමාන්‍ය උෂ්ණත්වය සටහන් වී තිබෙනවා.
ඉතාලියේ ද ප්‍රදේශ රැසකට දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්.
ජර්මනිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල උෂ්ණත්වය සති අන්තය වන විට තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ජර්මනියේ ද දියේ ගිලීම් කිහිපයක් වාර්තා වන අතර නියඟය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත්, එළිමහන් බාබකියු සාද තහනම් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කොපර්නිකස් දේශගුණික සේවාවට අනුව, යුරෝපය යනු ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා දෙගුණයක වේගයකින් උණුසුම් වන, වේගයෙන්ම උණුසුම් වන මහාද්වීපය බවටයි වාර්තා කර ඇත්තේ.
ඉදිරි දිනවලදී මෙම උණුසුම් රැල්ල පෝලන්තය, ක්‍රොඒෂියාව සහ හංගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපයට ද ව්‍යාප්ත වනු ඇතැයි කාලගුණ අනාවැකියේ සදහන්.




