ඉහළ ජනප්‍රසාදයක් දිනාගෙන සිටින දකුණු කොරියානු රංගන ශිල්පියෙකු වන Kim Soo-hyunට AI තාක්ෂණය යොදාගගෙන අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යූටියුබ් නිර්මාණකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 'Hover Lab' නමැති යූටියුබ් නාලිකාව මෙහෙයවන Kim Se-ui නැමැති යූටියුබ් නිර්මාණකරුවායි.
දකුණූ කොරියනු මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ නියෝග මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු කොරියානු රංගන ශිල්පිණියක වන මියගිය Kim Sae-ron බාලවයස්කාරියකව සිටියදී Kim Soo-hyun ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව හගවමින් Kim Se-ui ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවටයි චෝදනා පවතින්නේ.
Kim Sae-ron මියයාමට පෙර තමන් කුඩා කල සිටම Kim Soo-hyun සමඟ සබඳතාවක් පැවැත්වූ බව පවසන හඬ පටයක් 'Hover Lab' නමැති යූටියුබ් නාලිකාවෙන් ප්‍රසිද්ධ කර තිබූණා.
නමුත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම හඩපටය AI තාක්ෂණය යොදගෙන ව්‍යාජව සකස් කළ එකක් බවයි.
මීට අමතරව දුරකථන කෙටි පණිවිඩ කිහිපයක්ද Kim Se-ui විසින් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
රංගන ශීල්පිණී Kim Sae-ron මියයන විට පසුවූයේ 24 වන වියේයි.
ඇගේ මරණය ඇය විසින්ම දිවි හානිකර ගැනීමක් බව විමර්ශනවලදී හෙළිවුණා.
ඒ සමගයි ප්‍රශ්ණගත හඩපටය සහ දුරකථන කෙටි පණිවිඩ සමාජගත වූයේ.
එයින් තමන්ගේ සමාජයීය සහ ආර්ථික ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බව Kim Soo-hyun පවසනවා.
ඇතිවූ මානසික පීඩනය නිසා ඔහු තවමත් මානසික ප්‍රතිකාරද ලබමින් සිටින බවයි දකුණු කොරියානු මාධ්‍ය පවසන්නේ.
2025 මාර්තු මාසයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු Kim Soo-hyun මේ දක්වා කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගී වී නොමැති බවද දකුණු කොරියානු මාධ්‍ය කියා සිටියා.
2025 මාර්තු මාසයේ පැවති මාධ්‍ය හමුවේදී Kim Soo-hyun ප්‍රකාශ කර ඇත්තේ තමන් Kim Sae-ron සමඟ සබඳතාවක් පැවැත්වූයේ ඇය වැඩිහිටියෙකු වූ පසුව වසරක පමණ කාලයක් පමණක් බවයි.
නොකළ වරදක් තමන්ට පිළිගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.
මේ අතර සත්‍යය දැන් තහවුරු වී ඇති බව පවසමින් Kim Soo-hyunගේ කළමනාකාරීත්වය අද නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
"මීට වසරකට පෙර පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී Kim Soo-hyun පොරොන්දු වුණා 'මං කියන දේ විශ්වාස කරන්න කියලා මං ඔබෙන් ඉල්ලන්නේ නැහැ, මං මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්නම්' කියලා. පසුගිය වසර පුරාම ඔහු කැපවුණේ ඒ පොරොන්දුව ඉටු කරන්නයි" යනුවෙන් එහි සඳහන්.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැකකාර යූටියුබ්කරු තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිසියට සහ අභිචෝදකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා සිටි බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තාවන්හි සදහන් වන්නේ.
ප්‍රශ්ණගත 'Hover Lab' නාලිකාවට මිලියනයකට ආසන්න ග්‍රාහකයින් පිරිසක් සිටිනවා.
එය දකුණු කොරියාව තුළ දේශපාලන සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ 'Gossip' ප්‍රචාරය කරන ආන්දෝලනාත්මක නාලිකාවක් ලෙසයි ප්‍රකටව ඇත්තේ.
;




