පාකිස්තානය තුළ සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන යාම, බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම සහ බලහත්කාරයෙන් විවාහ කරදීමේ බරපතළ සිදුවීම් මාලාව ලබන අඟහරුවාදා (ජූලි 14) යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී විශේෂ ජාත්‍යන්තර විමර්ශනයකට ලක්කිරීමට නියමිතය.

සුළුතර ආගමික දැරියන් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ සමුළුවක් සඳහා නීතිවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට රැස්වීමට නියමිතව ඇත.

Jubilee Campaign Netherlands සංවිධානයේ ප්‍රකාශකයෙකු වන ජෝසෆ් ජැන්සන් සඳහන් කළේ, යුරෝපා කොන්සර්වේටිව් සහ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම සහ යුරෝපා මහජන පක්ෂ කණ්ඩායම එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇති බවයි.

එහිදී පාකිස්තානයේ සිදුවූ 'මරියා ෂාබාස්' දැරියගේ සිදුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

පසුගිය පෙබරවාරි 3 වැනිදා පාකිස්තාන ෆෙඩරල් ව්‍යවස්ථාපිත අධිකරණය විසින් 13 හැවිරිදි ක්‍රිස්තියානි දැරියක වන මරියා සහ 30 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු වන ෂෙහ්රියාර් අහමඩ් අතර සිදුවූ විවාහය නීත්‍යානුකූල බවට තීන්දු කළේය.

එහෙත් මරියාගේ පවුලේ අය චෝදනා කරන්නේ මෙම පුද්ගලයා විසින් තම දියණියව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවයි.

මෙම අධිකරණ තීන්දුවත් සමඟ පාකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාව අතර දැඩි විරෝධතාවලක් හටගත් අතර, මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවන්නේ මෙම තීන්දුව හේතුවෙන් සුළුතර දැරියන් තවදුරටත් අනතුරේ වැටිය හැකි බවයි.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බර්ට්-ජෑන් රුයිසන් සහ මාටෙජ් ටොනින් විසින් මෙම සමුළුවේ සම-සභාපතිත්වය දරනු ලබන බව ජැන්සන් 'ක්‍රිස්ටියන් ඩේලි ඉන්ටර්නැෂනල්' පුවත් සේවයට වැඩිදුරටත් පවසා ඇත.