සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ 'පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' (PTI) පක්ෂය සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පාකිස්තාන බලධාරීන් අගනුවර වන ඉස්ලාමාබාද් මුළුමනින්ම පාහේ වටලමින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
විදෙස් ජනමාධ්ය වාර්තා කළේ ප්රධාන මහාමාර්ග නැව් බහාලුම් යොදා වසා දමා ඇති අතර, නගරයේ ආරක්ෂාව සඳහා දස දහස් සංඛ්යාත ආරක්ෂක භට පිරිසක් රඳවා ඇත.
කෝටි 24 ක ජනගහනයකින් යුත් පාකිස්තානය තුළ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සහ හමුදා අනුග්රහය ලබන වත්මන් රජය අතර පවතින උග්ර දේශපාලන අර්බුදය මෙමගින් නැවතත් තහවුරු වේ.
ඉරිදා පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට පෙර සාමය පවත්වා ගැනීමේ මුවාවෙන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනෙකු සහ පක්ෂ ක්රියාකාරීන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.
අගනුවර සහ ඒ අවට ප්රදේශවල අතිරේකව පොලිස් සහ අර්ධ හමුදා භටයින් 35,000 කට ආසන්න සංඛ්යාවක් යොදවා ඇති අතර, විරෝධතා පැවැත්විය හැකි රටේ අනෙකුත් නගරවල ද ආරක්ෂාව තර කර ඇත. වසර දෙකකට පෙර PTI පක්ෂය පැවැත්වූ අවසන් මහා විරෝධතාවයේදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම ද මෙලෙස ආරක්ෂාව තර කිරීමට හේතුවක් වී තිබේ.
ජාතික මහාමාර්ග අධිකාරිය සඳහන් කළේ ඛාන්ගේ පක්ෂය මගින් පාලනය වන වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාත, ඉස්ලාමාබාද් අගනුවර හා සම්බන්ධ කරන ප්රධාන මහාමාර්ග දෙකක් ද නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවයි. ඊට අමතරව පාර්ලිමේන්තුව, අගමැති නිල නිවස සහ විදේශීය තානාපති කාර්යාල පිහිටි සංවේදී රාජ්ය පරිපාලන කලාපය ද බහාලුම් යොදා සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
මේ අතර ස්වදේශ කටයුතු අමාත්ය මොහ්සින් නක්වි බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ විරෝධතාව ප්රචණ්ඩකාරී වුවහොත් ඊට කිසිසේත් ඉඩ නොදී ප්රතිචාර දක්වන ලෙසයි.



