ඇෆ්ගනිස්තානයේ ස්ථාන 10 කට බ්රහස්පතින්දා අලුයම ප්රබල ගුවන් ප්රහාර එල්ල කළ බව පාකිස්තානය නිල වශයෙන් ප්රකාශ කළේය.
පසුගියදා පාකිස්තානයට එල්ල වූ ඩ්රෝන ප්රහාර සඳහා මෙම ස්ථාන භාවිත කර ඇති බවට ඉස්ලාමාබාද් පාලනය චෝදනා කරයි.
දෙරට අතර සටන් මෙලෙස සීඝ්රයෙන් උග්රවීමත් සමඟ කලාපයේ සාමය ඇතිකිරීමට දරන ජාත්යන්තර ප්රයත්නයන් අභියෝගයකට ලක්ව තිබේ.
පාකිස්තාන තොරතුරු අමාත්ය අතාවුල්ලා තරාර් X ගිණුම ඔස්සේ තහවුරු කළ ආකාරයට, මෙම ප්රහාර එල්ල වූයේ දේශසීමා හරහා ත්රස්තවාදීන් ඇතුළු වීමට දැරූ උත්සාහයක් පාකිස්තාන හමුදාව විසින් ව්යර්ථ කිරීමෙන් අනතුරුවය.
ඊට ප්රතිචාර ලෙස තලේබාන් බලකායන් විසින් පාකිස්තාන දේශසීමා මුරපොළවල් වෙත ඩ්රෝන යානා අටක් සහ කාලතුවක්කු ප්රහාර එල්ල කළ බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ලැබෙන්නේ පරස්පර ප්රකාශයන්ය. ඇෆ්ගනිස්තානයේ දකුණු සහ නැගෙනහිර පිහිටි කන්දහාර්, පක්තියා සහ ඛොස්ට් යන ප්රදේශවලට එල්ල වූ මෙම ප්රහාරවලින් සිවිල් වැසියන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඇෆ්ගන් රජයේ ප්රකාශක සබීහුල්ලා මුජාහිඩ් පැවසීය.
පාකිස්තානය වෙත ඩ්රෝන ප්රහාර එල්ල කළ බවට කෙරෙන චෝදනා තරයේ ප්රතික්ෂේප කළ මුජාහිඩ්, පාකිස්තාන හමුදා රෙජිමයේ මෙම ආක්රමණශීලී ක්රියාවන්ට සුදුසු වේලාවේදී දැඩි ලෙස ප්රතිචාර දක්වන බවටත්, මෙහි බරපතල ප්රතිවිපාකවලට මුහුණ දීමට පාකිස්තානයට සිදුවන බවටත් දැඩි ලෙස අනතුරු ඇඟවීය.



