පසුගිය මාර්තු 16 වන දින කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සුදුසු පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් මාස හතරකට පසුව, එම ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නව පරීක්ෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී 'ඔමිඩ්' පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ආයුධ සහ අමතර කොටස් ගබඩා කිරීමට හෝ වෙනත් හමුදාමය අවශ්‍යතා සඳහා භාවිත කළ බවට පාකිස්තාන හමුදාව නැගූ චෝදනා සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව එම සංවිධානය සොයාගෙන ඇත.

මෙම ගුවන් ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සෞඛ්‍ය පහසුකම් සඳහා හිමිවන විශේෂ ආරක්ෂාව මෙන්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර ඇති සුවිශේෂීතාවය, පූර්වාරක්ෂාව සහ අනුපාතිකත්වය පිළිබඳ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.

"ඔමිඩ් මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය යුධ අපරාධයක් ලෙස සැලකිය හැකියි. මෙම ස්ථානය වසර දහයකට වැඩි කාලයක් පුරා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බවට ප්‍රසිද්ධ තොරතුරු තිබියදීත්, පාකිස්තානය සිදුකළ මෙම ප්‍රහාරය මගින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ හමුදා සැලසුම්කරණයේ පැවැති දැවැන්ත අසාර්ථකත්වයයි. එමෙන්ම විශාල සිවිල් වැසියන් පිරිසකට ජීවිත අහිමි වීමටද එය හේතු වුණා," යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දකුණු ආසියානු වැඩබලන ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ඉසබෙල් ලාසි පැවසුවාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "ලක් කරනු ලබන ඉලක්කය හමුදාමය එකක්ද යන්න තහවුරු කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගැනීමේ වගකීම පාකිස්තානය පැහැර හැර තිබෙනවා. එම නිසා, පාකිස්තානය වහාම මේ පිළිබඳව, විශේෂයෙන්ම මෙම මධ්‍යස්ථානය ඉලක්ක කිරීමට ගත් තීරණාත්මක ක්‍රියාවලිය සම්බන්ධයෙන්, පාරදෘශ්‍ය, විධිමත්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ යුතුයි. ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී, අණදීමේ වගකීම යටතේ ඇතුළුව, අපරාධකාරී වගකීම් සහිත බවට සැකකෙරෙන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි."