පාකිස්ථාන බලධාරීන් විසින් එරට සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් ඉලක්ක කරගනිමින් වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ බලහත්කාරයෙන් ආපසු හරවා යැවීම් දැඩි කර ඇති බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියි.

එම වාර්තාවට අනුව, පාකිස්ථාන පොලිසිය විවිධ නගරවල නිවාස වටලමින්, මධ්‍යම රාත්‍රියේ සෝදිසි කිරීම් සිදු කරන අතර නීත්‍යානුකූල ලේඛන හිමි පුද්ගලයන් පවා අත්අඩංගුවට ගනිමින් සිටියි.

2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඇෆ්ගන් ජාතිකයින් 146,000 කට වැඩි පිරිසක් පාකිස්ථානයෙන් පිටුවහල් කර ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඇෆ්ගනිස්ථාන පිළිබඳ පර්යේෂිකා ෆෙරෙෂ්තා අබ්බාසි ප්‍රකාශ කළේ, පාකිස්ථාන බලධාරීන් ඇෆ්ගන් සරණාගතයින්ට ආරක්ෂාව සලසනවා වෙනුවට ඔවුන් අතර භීතිය පතුරුවමින් සිටින අතර, පොලිසියේ අඩන්තේට්ටම්කාරී ක්‍රියාකලාපය නිසා ජනතාවට ආහාර සහ සෞඛ්‍ය පහසුකම් පවා අත්හැරීමට සිදුව තිබෙන බවයි.

අත්අඩංගුවට පත්වීමේ බිය නිසා බොහෝ සරණාගතයින් රෝහල් වෙත යාමට නොහැකි වී ඇති බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇෆ්ගන් ජාතික කාන්තාවක එම සංවිධානයට පවසා ඇත්තේ, සිය දියණිය අසනීපයෙන් පසුවුවත්, පොලිසියට අසුවෙයි යන බිය නිසා ඇයව රෝහලට ගෙන යාමට මට නොහැකි වී ඇති බවයි.

2021 වසරෙන් පසුව ඇෆ්ගනිස්ථානයෙන් පලා ආ මාධ්‍යවේදීන් ද මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව එහි සඳහන් වේ. ඇතැම් පවුල්වල සාමාජිකයින් වෙන් කර ඇති අතර, කුඩා ළමයින් පමණක් තනිවම ඇෆ්ගනිස්ථානයට ආපසු යවා ඇති බව ද වාර්තාව හෙළි කරයි.