එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමෙරිකාවට ඇතුළුවීම සදහා වීසා නිකුත් කළ බව ඇමෙරිකාව පවසනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානය සහභාගී වන පළමු තරගය ලබන ජූනි 15 වනදා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතයි.

එහිදී ඉරානය නවසීලන්තය සමග තරගවැදීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා තවත් දින 10කටත් අඩු කාලයක් ඉතිරිව තිබියදීයි තරගය වෙනුවෙන් අමෙරිකාවට ඇතුලුවීම සදහා ඉරාන පාපන්දු කණ්ඩායමට වීසා නිකුත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබෙන්නේ.

මීට පෙර වීසා ප්‍රමාදය හේතුවෙන් ඉරාන කණ්ඩායම සිය පුහුණු කඳවුර ඇමෙරිකාවේ ඇරිසෝනා සිට මෙක්සිකෝව වෙත වෙනස් කිරීමටද පියවර ගෙන තිබුණා.

මේ පිළිබද අදහස් දක්වමින් අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, ඉරාන ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට අවශ්‍ය වීසා බලපත්‍ර දැනටමත් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩාවේ මුවාවෙන් ත්‍රස්තවාදීන් රට තුළට ඇතුළු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද ඔවුන් අවධාරණය කරනවා.

ඉරාන සන්නද්ධ බලකායේ බලගතු පාර්ශවයක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මීට පෙර පවසා තිබුණේ.

ඉරාන කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් මෙම බලකාය යටතේ අනිවාර්ය හමුදා සේවය සම්පූර්ණ කර තිබීම ඊට හේතු වුණා.

මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ, තමන් සමඟ යුදමය තත්ත්වයක පසුවන රටක ක්‍රීඩකයන්ට සත්කාරක රටක් වීසා ලබාදුන් පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ දක්වා මෙම වීසා අනුමැතිය පිළිබඳව ඉරාන පාපන්දු සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.

2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජූනි 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඊට සත්කාරකත්වය සපයන්නේ ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවයි.

මේ අතර මෙවර තරගාවලියේ කාගෙත් කතාබහට ලක්වෙන සුවිශේෂීම මාතෘකාව වී තිබෙන්නේ තරග සඳහා භාවිත කරන නිල පාපන්දු බෝලයයි. බැලූ බැල්මට සාමාන්‍ය පාපන්දුවක් සේ පෙනුනත්, මෙවර තරගාවලියට හඳුන්වා දී තිබෙන ටි්‍රයොන්ඩා, පාපන්දුව සැබවින්ම තාක්ෂණික විප්ලවයක්.

ස්පාඤ්ඤ භාෂාවෙන් රළ තුනක් යන අදහස දෙන ,ටි්‍රයොන්ඩා, යන නම මෙයට තබා තිබෙන්නේ සත්කාරක රටවල් තුන සංකේතවත් කිරීමටයි.

මෙය කෘත්‍රිම බුද්ධිය හෙවත් ්ෂ තාක්ෂණයෙන් බලගැන්වූ ”ස්මාර්ට් බෝලයක්”.

මේ පන්දුව ඇතුළත සුවිශේෂී සංවේදකයක් සවි කර තිබෙනවා.

ක්‍රීඩාංගණය වටා සවි කර ඇති වෙනත් සංවේදක පද්ධති සමඟ සන්නිවේදනය කරමින්, මෙම බෝලයට තත්පරයකට 500 වතාවක් වැනි සුපිරි වේගයකින් දත්ත රැස් කිරීමේ හැකියාව පවතිනවා.

මේ නිසා තරග තීරකවරුන්ට ”ඕෆ්-සයිඩ්” වැනි ඉතා සියුම් තීරණ වඩාත් නිවැරදිව සහ ක්ෂණිකව ගැනීමට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම, තරගය නරඹන ප්‍රේක්ෂකයින්ටත් බෝලයට වැඩිම කැරකැවීමක් හෙවත් ‘ස්පින්‘ එකක් දුන්නේ කවුද, වැඩිම වේගයකින් පන්දුවට පහර දුන්නේ කවුද වැනි රසවත් දත්ත රැසක් එසැණින් දැනගන්නට පුළුවන්.

තාක්ෂණය සේම මෙහි බාහිර පෙනුමත් ඉතාමත් අලංකාරයි.

කැනඩාවේ රතු මේපල් පත්‍රය, මෙක්සිකෝවේ කොළ පැහැති රාජාලියා සහ ඇමරිකානු ධජයේ තරු සහ නිල් පැහැය මෙයට ඇතුළත් කර තිබෙනවා.

රන්වන් පැහැති රේඛාවන්ගෙන් හැඩවී ඇති මෙම පන්දුව නිර්මාණය කර ඇත්තේ ලෝක කුසලාන රන් කුසලානයට උපහාරයක් ලෙසයි.