පාකිස්තානයේ පෙෂාවර් හි පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් මිය ගිය සිසුන් ගණන තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සිසුන් 33 ක් මියගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම එම පාසලේ  ගුරුවරයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පෞද්ගලික පාසලක මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් පුද්ගලයින් 12 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ වන විටත් සුන්බුන් අතර තවත් ළමයින් කිහිපදෙනෙකු සිරවී සිටිනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, හදිසි සහන සේවා කණ්ඩායම් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මෙහෙයුම් කටයුතු වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.