‘මුරසු‘ ප්‍රබල සුළි කුණාටුව අද අලුයම එකට පමණ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ ඔංගෝල් ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වීම ආරම්භ වූ බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළි කුණාටුවේ බලපෑමත් සමඟ අදාළ ප්‍රදේශවලට සන්නිවේදන හා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල කරමින් තද වැසි සහ පැයට කිලෝමීටර් 110 ත් 120 ත් අතර ප්‍රබල ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් හටගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
නෙල්ලෝර් සහ නර්සාපූර් අතර ප්‍රදේශවලට වැඩිම බලපෑම එල්ල වී තිබෙනවා. බාපට්ලා, ක්‍රිෂ්ණා සහ ප්‍රකාසම් යන දිස්ත්‍රික්කවල පහත් බිම් මුහුදු රළ ගොඩ ගැලීමෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉදිරි පැය 12 ඇතුළත දකුණු වෙරළබඩ ආන්ධ්‍ර ප්‍රදේශ් කලාපයට අධික වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, පවතින ආපදා තත්ත්වය හමුවේ සහන සේවකයින් සූදානම් කර ඇති බවද එරට බලධාරීන් පවසනවා.