බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් බාලවයස්කාර විවාහයන්ට ගොදුරු වන බව අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගැහැණු දරුවන් පාසල් අධ්යාපනය තුළ තබා ගැනීමටත්, බාලවයස්කාර විවාහ සඳහා මඟපාදන නීතිමය හිඩැස් වහාම වසා දැමීමටත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටියි.
The Bangladesh Multiple Indicator Cluster Survey 2025 වාර්තාව පෙන්වා දෙන්නේ වයස අවුරුදු 20-24 අතර පසුවන කාන්තාවන්ගෙන් සියයට 47.2ක්ම වයස අවුරුදු 18 පිරීමට පෙර විවාහ වී ඇති බවයි.
තෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණි යුනිසෙෆ් හි විධායක අධ්යක්ෂිකා කැතරින් රසල් පෙන්වා දුන්නේ, බාලවයස්කාර විවාහ හේතුවෙන් දැරියන්ගේ අධ්යාපනය අඩාල වන අතර අඩු වයසින් ගැබ්ගැනීම් හා අනාගත අවස්ථා ඇහිරී යාම වැනි බරපතල ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවයි.
එබැවින් ළමා අධ්යාපනය, සෞඛ්යය සහ ආරක්ෂාව වෙනුවෙන් කෙරෙන ආයෝජන වහාම ඉහළ නැංවිය යුතු බව ඇය අවධාරණය කළාය.
ඩකා හි පිහිටි ‘කොරයිල්’ අනවසර පදිංචි ගම්මානයේ සංචාරය කළ රසල්, එහි වෙසෙන ළමුන් සහ දෙමාපියන් මුහුණ දෙන දුප්පත්කම, අධ්යාපන බිඳවැටීම් සහ සමාජීය බලපෑම් පිළිබඳව සොයා බැලුවාය. එහිදී වයස අවුරුදු 14දී විවාහ කරදීමට සූදානම් වූ 'බුෂ්රා' නමැති දැරියකගේ විවාහය, යුනිසෙෆ් සහාය ලබන ළමා ආරක්ෂණ මධ්යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කිරීමට හැකිවූ අයුරු ද අවධානයට යොමු විය.
විදේශ කටයුතු රාජ්ය අමාත්ය ෂාමා ඔබෙයිඩ් ඉස්ලාම් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් හමුවූ රසල්, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් අධ්යාපනය හා සෞඛ්යය සඳහා ආයෝජනය කිරීමට ඇති පොරොන්දුව ක්රියාවට නංවන ලෙස ඉල්ලා සිටියාය.




