බංග්ලාදේශය තුළ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ජාතික අවධානයක් සහ කනස්සල්ලක් මතුව ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
එම වාර්තාව පෙන්වා දෙන්නේ එරට පොලිස් මූලස්ථානයේ දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි සහ ජූලි අතර මාස හතක කාලය තුළ පමණක් දිවයින පුරා ළමුන් 15,917 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.
මෙම කාලසීමාව තුළ එම දරුවන්ගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් පවුල් විසින් විවිධ පොලිස් ස්ථානවල සාමාන්‍ය පැමිණිලි සටහන් කර ඇත. බංග්ලාදේශයේ ළමා ආරක්ෂාවේ පවතින බරපතල තත්ත්වය පැහැදිලි කරන මෙම තිගැස්වෙන සුළු දත්තවලට අනුව, එම මාස හත තුළ දිනකට සාමාන්‍යයෙන් ළමයින් 75 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ.
මෙලෙස අතුරුදහන් වූ ළමුන්ගෙන් ඇතැම් පිරිසක් නැවත සොයාගෙන හෝ පවුල් වෙත පැමිණ තිබුණද, තවත් බොහෝ දෙනෙකුගේ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. සෑම අතුරුදහන් වූ දරුවෙකු පිටුපසම අවිනිශ්චිතතාවය, බිය සහ දැඩි මානසික පීඩනයෙන් පෙළෙන පවුලක් සිටී. ළමයෙකු අතුරුදහන් වීම යනු හුදෙක් සංඛ්‍යාත්මක දත්තයක් හෝ සාමාන්‍ය අතුරුදහන් වීමේ සිදුවීමක් ලෙස පමණක් සැහැල්ලුවෙන් සැලකිය නොහැකිය. මෙවැනි සෑම සිදුවීමකින්ම නිරූපණය වන්නේ දරුවෙකුගේ මූලික අයිතිවාසිකම්, ආරක්ෂාව, ගෞරවය සහ අනාගතය හමුවේ එල්ල වන බරපතල තර්ජනයකි.
පොලිස් වාර්තාගත දත්තවලට අනුව, ජනවාරි මාසයේදී ළමුන් 1,768 දෙනෙකු, පෙබරවාරි මාසයේදී 1,392 දෙනෙකු සහ මාර්තු මාසයේදී 1,708 දෙනෙකු අතුරුදහන් වී ඇත. අප්‍රේල් මාසයේදී මෙම සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, වාර්තා වූ අතුරුදහන්වීම් ගණන 2,660 කි. මැයි මාසයේදී එම සංඛ්‍යාව 256 ක් ලෙස වාර්තා වූ අතර, ජූනි මාසයේදී වැඩිම අතුරුදහන්වීම් සංඛ්‍යාව ලෙස ළමුන් 3,163 දෙනෙකු වාර්තා වී තිබේ. ජූලි මාසයේදී වාර්තා වූ සංඛ්‍යාව 311 කි. පවතින දත්ත අනුව වැඩිම ළමුන් සංඛ්‍යාවක් අතුරුදහන් වූ මාසය ලෙස ජූනි මාසය හඳුනාගෙන ඇත.
මෙම සිදුවීම්වල පවතින බරපතලකම හමුවේ රජය, නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන, මානව හිමිකම් සංවිධාන, සිවිල් සමාජය, අධ්‍යාපන ආයතන සහ මහජනතාවගේ වහා අවධානය යොමුවිය යුතුව ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය නිකුත් කළ නවතම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ . එමෙන්ම, ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සහ නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ හා විශ්වසනීය දත්ත මත පදනම්ව සිදුවන බව තහවුරු කරගැනීම සඳහා, මාසික දත්තවල පවතින අනුකූලතාවය සහ නිවැරදිභාවය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් ප්‍රවේශමෙන් සමාලෝචනය කර පැහැදිලි කිරීමක් සිදුකිරීමද අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත.


