බලුකිස්තාන කලාපයේ දිනෙන් දින ඉහළ යන සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර හේතුවෙන්, පාකිස්තානයේ විශාලතම තඹ සහ රන් පතල වන ‘සයින්දක්’ පතල ලබන මාසය වන විට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමකට ලක්ව ඇති බව ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත අනාවරණය කරයි.

ත්‍රස්ත තර්ජන හේතුවෙන් පතල වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන ප්‍රධාන ප්‍රවාහන මාර්ග අවහිර වී ඇති අතර, මේ හේතුවෙන් මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට ගැටලු උග්‍ර වී ඇති බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කළ රහසිගත ලිපියක සඳහන් වේ.

2001 වසරේ සිට චීන රජයට අයත් ‘මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා’ (MCC) සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම පතල, 2037 වසර දක්වා චීනය වෙත බදු දී ඇත. මෙහි නිපදවන බහුතරයක් ඛනිජ සම්පත් චීනය වෙත අපනයනය කෙරෙන අතර, පසුගිය වසරේදී තඹ අපනයනයෙන් පමණක් පාකිස්තාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 750ක දැවැන්ත විදේශ විනිමය ආදායමක් උපයා තිබුණි.

මෑත මාසවලදී බලුකිස්තාන බෙදුම්වාදීන් විසින් ආරක්ෂක අංශ සහ විදේශීය ආයෝජන ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර දරුණු ලෙස ඉහළ ගොස් ඇත. පතල සඳහා සැපයුම් ලබාගන්නා ප්‍රධාන මහා මාර්ග ජාලය මේ වන විට අතිශය අනතුරුදායක කලාප බවට පත්ව ඇති බැවින්, ද්‍රව්‍ය ප්‍රවාහනය මුළුමනින්ම ඇණහිට ඇති බව රජයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, පවතින බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පතල් පරිශ්‍රයේ මෙන්ම ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර ආරක්ෂක බලඇණි යෙදවීමට පළාත් බලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු රාජ්‍ය අමාත්‍ය තලාල් චෞද්‍රි රොයිටර් පුවත් සේවයට පවසා ඇත.