බහරේනයේ සහ කුවේට් රාජ්‍යයේ පිහිටි, ඇමරිකානු ආරක්ෂක අංශවලට අයත් වැදගත් සේනාංක සහ ස්ථාන 85ක් ඉලක්ක කර ගනිමින් තමන් ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමිය විප්ලවීය ආරක්ෂක බලකාය හෙවත් IRGC සංවිධානය ප්‍රකාශ කරනවා.

ඉරාන නාවික සහ ගුවන් අභ්‍යවකාශ බලකායන් එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයන්ගෙන් බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයට සහ කුවේට් හි පිහිටි 'අලි අල්-සාලෙම්' ගුවන් හමුදා කඳවුරට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඉරානය පවසනවා.

ඉරානය අවධාරණය කරන්නේ, ඉස්ලාමාබාද් එකඟතාවය සහ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් ඇමරිකාව අද උදෑසන ඉරානයේ හෝමොස්ගන් සහ මහ්ෂහ්ර් යන වෙරළබඩ ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම, මෑතකදී අභාවප්‍රාප්ත වූ ඉරාන නායකයාගේ අවමංගල්‍ය පෙරහැර සහ එම ඓතිහාසික අවස්ථාව ලෝක අවධානයෙන් යටපත් කිරීම සඳහා වොෂින්ටනය උත්සාහ කරන බවටද ඉරාන විප්ලවීය බලකාය චෝදනා කර සිටිනවා