චීනය විසින් නිෂ්පාදිත, අන්තර්ජාලය හා සම්බන්ධිත ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සොයා ඔත්තු බැලීමේ හැකියාවක් පවතින බවට තාක්ෂණික විශේෂඥ වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ.

තාක්ෂණික පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද විග්‍රහයකට අනුව, එක්සත් රාජධානිය පුරා ගොවිපළවල භාවිත වන උපකරණ තුළ පවතින මෙම "සැඟවුණු ආරක්ෂක අවදානම" හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි තර්ජනයකට ලක්ව ඇත.

ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රේම් ඩවුනිගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන 'ආරක්ෂිත තාක්ෂණය පිළිබඳ සන්ධානය' (CST) පෙන්වා දෙන්නේ GPS තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ට්‍රැක්ටර්, කෘෂිකාර්මික ඩ්‍රෝන යානා සහ ස්වයංක්‍රීය වාරිමාර්ග පද්ධති ඇතුළු ගොවිපළ යන්ත්‍රෝපකරණ සඳහා චීන නිෂ්පාදිත විද්‍යුත් චිප් (chips) බහුලව භාවිත කර ඇති බවයි.

මෙම කෘෂිකාර්මික උපකරණ සයිබර් ප්‍රහාර හරහා හැක් (hack) කිරීමෙන් බ්‍රිතාන්‍ය ගොවිපළවල අස්වැන්න පිළිබඳ තොරතුරු ලබාගැනීමටත්, එක්සත් රාජධානියේ ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් රහස් තොරතුරු රැස්කිරීමටත් චීනයට සම්බන්ධ කණ්ඩායම්වලට හැකියාව පවතින බව විශ්වාස කෙරේ.

ස්මාර්ට් උෂ්ණත්ව පාලක සහ ශීතකරණ වැනි අන්තර්ජාලය හා සම්බන්ධිත ගෘහස්ථ විදුලි උපකරණවල පවතින තාක්ෂණික දුර්වලතා ඔස්සේ චීන ඔත්තු බැලීම් සහ බාධා කිරීම් සිදුවිය හැකි බවට CST සංවිධානය මීට පෙරද අනතුරු අඟවා තිබුණි.

නූතන අන්තර්ජාල පහසුකම් සහිත බොහෝ උපකරණ සඳහා භාවිත කරන සෙලියුලර් 'ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්' (CIMs) මොඩියුලවලින් සියයට 70 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ චීනය විසිනි. චීන රාජ්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක වන හැකර්වරුන්ට මෙම උපකරණ ඉතා පහසුවෙන් සිය පාලනයට නතු කරගත හැකි අතර, එමගින් පරිශීලකයින් දැඩි අවදානමකට ලක්වන බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.

'ද ටෙලිග්‍රාෆ්' පුවත්පත වෙත ලැබී ඇති CST වාර්තාවට අනුව, කෘෂිකාර්මික ක්ෂේත්‍රය චීන තාක්ෂණය මත යැපීම බ්‍රිතාන්‍යයේ ආහාර ආරක්ෂණයට විශාල තර්ජනයක් එල්ල කරයි. මෙලෙස ඔත්තු බැලීම හරහා බ්‍රිතාන්‍යයේ ආහාර නිෂ්පාදන පද්ධතියේ පවතින දුර්වලතා හඳුනාගැනීමට චීනයට හැකියාව ලැබෙන බවත්, වගා අස්වැන්න, අනාගත නිෂ්පාදන පුරෝකථන සහ සත්ව පාලන දත්ත රැස්කිරීමට බීජිං පාලනයට මින් ඉඩකඩ සැලසෙන බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.