තායිලන්තයේ බැංකොක් නුවර රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් විසි හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බැංකොක් නුවර ප්‍රසිද්ධ අවන්හලක් සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන ''රොන්ග් බියර් නා ලට් ප්රාඕ'' නමැති රාත්‍රී සමාජ ශාලාවේයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් නව දෙනෙකු සහ කාන්තාවන් දහඅට දෙනෙකු සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් තහවුරු කළා.
ගින්නෙන් තුවාල ලැබූ තවත් හැටකට වැඩි පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ගිනි ගැනීම සිදු වන අවස්ථාවේ එහි සංගීතය සපයමින් සිටි කලාකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රධාන විදුලි ස්විචය අසලින් මුලින්ම ගින්න හටගත් බවයි.
ඉන්පසු ක්ෂණයකින් විශාල ශබ්දයක් සමඟින් ගින්න සහ දුමාරය මුළු ශාලාව පුරාම පැතිර ගොස් තිබෙනවා.
බියට පත් වූ පිරිස් දුමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලේ පිටුපස ඇති වැසිකිළි තුළට ගොස් සැඟවීමට උත්සාහ කර ඇති අතර, වැඩිම මළසිරුරු ප්‍රමාණයක් හමු වී ඇත්තේ එම ස්ථානයෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ගිනි නිවන භටයන් පැමිණ මිනිත්තු 30ක් වැනි කෙටි කාලයකදී ගින්න පාලනය කිරීමට සමත් වී තිබෙනවා.
එහෙත්, ඒ වන විටත් සිදු වී තිබූ විනාශය අතිමහත්.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුව සෙවීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.




